ද්විත්ව පුරවැසියන්ට ජනපති වෙන්න බෑ! අගමැති වෙන්න පුළුවන් ! – විස්සට ගෙනා සංශෝධන මෙන්න..

September 17, 2020 at 5:01 am | by emanisa.lk

ද්විත්ව පුරවැසියෙකුට මෙරට ජනාධිපති ධූරයට පත්වීමට පමණක් නොහැකි වන ලෙස 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය විය යුතු බව එම කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු විසින් යෝජනා කර තිබේ.

19 වන සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියෙකුට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට හෝ ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි බවට වගන්ති ඇතුළත් කර තිබුණි.

නමුත් 20 වන සංශෝධනයෙන් ඒ සියලු සීමා ඉවත් කර තිබුණ ද ඒ සඳහා පත්කළ කමිටුවෙන් යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් එම සීමා පැනවීමටයි.

එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය විගණකාධිපතිගේ විගණන බලය යටතට පත් කරන අතර විගණන කොමිෂන් සභාව තව දුරටත් පවත්වා ගෙන යාමට යෝජනා කර ඇත.

ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමකදි අධිකරණය හමුවේ වග උත්තරකරු කිරීමට අවස්ථාව ලබා දීමට ද මෙම කමිටුව විසින් යෝජනා කර ඇත.

කැබිනට් ඇමැති මණ්ඩලය 30ට සහ කැබිනට් නොවන ඇමති ධුර 40ට සීමා තවදුරටත් පවත්වාගෙන යාමට මෙම කමිටු එකඟ වී ඇත.

ඇමති මණ්ඩල දිවුරුමේදී ඒකීයභාවය ආරක්ෂා කරන බවට පෙර තිබූ වගන්තිය කිසිදු සංශෝධනයකින් තොරව පවත්වා ගෙන යාමට කමිටුවේ එකඟතාව පළ වී ඇත.

මැතිවරණ කොමිසම් සභාවේ සාමාජිකයන් ප්‍රමාණය පස් දෙනකු දක්වා ඉහළ දැමීමට සහ එහි ඝන පූර්ණය තුන්දෙනෙකු කිරීමටත් කමිටුව විසින් යෝජනා කර ඇත.

කෙසේ වෙතත් අදාළ කමිටුවේ යෝජනා අද දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර නැත.

මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර හෙට දිනට දින දාහතරක් සම්පූර්ණ වන නිසා හෙට සිට ඕනෑම දිනයක පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමේ අවස්ථාව හිමිවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස