ජනාධිපතිවරණයට පෙර තවත් මැතිවරණයක්! ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබරයේ!

August 31, 2019 at 7:33 am | by emanisa.lk

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය එලඹෙන ඔක්තෝම්බර් මස පළමු සතිය තුළ පැවැත්වීමට බලාපොරොත්තුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත ඊයේ (30) නියෝග කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නියෝගය ලබා දුන් වාර්තා වෙයි.

එමෙන්ම ප්‍රතික්ෂේප කළ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය භාර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ ප්‍රාදේශීය සභාව භාර තේරීම්භාර නිලධාරීයාට නියෝග කර තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බව සඳහන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් අදාළ පෙත්සම ගොනු කර තිබුණි.

පෙත්සම පිළිබඳව විභාගයක් පැවැත්වීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි විභාගය අවසන් වන තෙක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් මීට පෙර නිකුත් කර තිබුණි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ගාලු දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස