ජනමතය සමග සෙල්ලම් කළ පාලකයන් ඇඳක සුවදායක මරණයක් ලබලා නෑ! – ඩලස්

July 12, 2019 at 6:37 am | by emanisa.lk

ආණ්ඩුව මේ වන විට කලාකරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බුද්ධිමතුන් පුරවැසියන් ඇතුළු 1600කගේ පමණ ෆේස්බුක් ගිණුම් අත්හිටුවීමට කටයුතු කර ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. එහිදී ඔහු මෙසේ ද පැවසීය.

හරියටම දින 132 කින් ජනාධිපතිවරණයට ළංවෙලා සිටිනවා. දින 102 කින් නාමයෝජනා ලබාදීමට සමීප වෙලා තිබෙනවා. හරියටම දින 88 කින් ජනාධිපතිවරණය ගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ව්‍යවස්ථානුකූලව, සම්ප‍්‍රදායානුකූලව ඒ ආකාරයෙන් සිදුවිය යුතුව තිබෙනවා. නමුත් උපක‍්‍රමශීලීව ජනාධිපතිවරණය මඟහැරවීම සඳහා ආණ්ඩුව විවිධ උපක‍්‍රම අනුගමනය කරමින් සිටින බව පේනවා. 19 වැනි සංශෝධනයට අදාළව ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව අධිකරණයට යන බවට මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට සැලසුමක් තිබෙන බවත් වාර්තා කර තිබෙනවා.

යහපාලන ආණ්ඩුවේ පාලන කාලය තුළ ඕනෑ තරම් දේශපාලන අපචාර සිදුකර තිබෙනවා. නමුත් ඒ අකටයුතුකම් අතරේ ජනමතයත් සමඟ සෙල්ලම් කිරීම බරපතල අපරාධයක්. පළාත් පාලන මැතිවරණය වසර දෙකහමාරකින් කල්දැම්මා. ඒ නිසා මැතිවරණ කල්දැමීම කියන්නේ ජනමතය නොසලකා හැරීමයි. ජනමතය නොසලකා හැරපු පාලකයන්ට අත්වූ ඉරණම ඉතිහාසය පුරාම බොහෝම කලූ අකුරෙන් සටහන් වෙලා තිබෙනවා. ජනමතය නොසලකා හැරි ආණ්ඩුවේ සියලූම පාර්ශ්ව මේ අනතුර තේරුම් ගත යුතුයි. අප රටේ මෙන්ම ලෝකයේත් ජනමතය සමග සෙල්ලම් කළ කිසිම පාලකයෙක් ඇඳක සුවදායක මරණයකට පත්වෙලා නැහැ. ඒ පාඩම කවුරුත් දැනගත යුතුයි.

ඒ වගේම අගෝස්තු 10 ට පෙර ඒකාබද්ධ විපක්‍ෂය පක්‍ෂ සමග සන්ධානගත විය යුතුයි කියන මතයකට ආවා. ඇත්තටම ශ‍්‍රීලනිපය සමග සාකච්ඡුාවටත් ප‍්‍රථමයෙන් තමයි ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ අතර සන්ධානගත විය යුතුයි කියන සාකච්ඡාව ආවේ. සමහර පක්‍ෂ සමග සන්ධානගත වීම යම් ප‍්‍රමාදයක් සිදුවුණා. ශ‍්‍රීලනිපය සමග තිබෙන සාකච්ඡා තවදුරටත් යනවා. අපි සන්ධානය කඩිනමින් පිහිටුවීමට සාකච්ඡුා කරමින් සිටිනවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුරුන්ද කියා නැවත වතාවක් කියන්න අවශ්‍ය නැහැ. අගෝස්තු 11 දා පොදුජන පෙරමුණේ මහා සමුළුවේදී ඒ බව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා පිළිබඳවත්, ඊට පෙර ඒකාබද්ධ විපක්‍ෂය සමග සිටින සියලුම පක්‍ෂ සමග සාකච්ඡා කරන බවත් දැනුම් දුන්නා. ඊට පසුවයි එම නිවේදනය නිකුත් කරන්නේ කියා එතුමා පැහැදිලිව වගකීමකින් දැනුම් දුන්නා. පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා නම් කිරීමට තීරණය කිරීමත් එක්කම සියලු වර්ණයේ චෞරයන් එකට එකතු වෙන බවක් අපට දැක ගන්නට පුළුවන්.

ආණ්ඩුව මේ වන විට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මුල්කරගත් දඩයමකට යමින් සිටිනවා. දැන් මේ රටේ ප‍්‍රධාන පෙළේ කලාකරුවන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, බුද්ධිමතුන්, පුරවැසියන් ඇතුළු 1600 කට ආසන්න පිරිසකගේ ෆේස්බුක් ගිණුම් අත්හිටුවා තිබෙනවා. එක පැත්තකින් සමාජ මාධ්‍ය අනික් පැත්තකින් මාධ්‍ය දඩයම් කරනවා. එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ ගම්පෙරළියට සුදුසුකමක් නැතිව ටෙන්ඩර් කැඳවන්නේ නැතිව මංගල සමරවීර ඇමැතිවරයා පෞද්ගලික ආයතනයකට රුපියල් මිලියන 490 ක් ප‍්‍රචාරක කටයුතුවලට දීලා තිබෙනවා.

මෙහෙම වෙන විට ජාතික රූපවාහිනිය සේවකයන්ට වැටුප් ගෙවන්න භාණ්ඩාගාරයෙන් මිලියන 300 ක් ඉල්ලා තිබෙනවා. එක්තරා ඇමැතිවරයෙක්ගේ ප‍්‍රචාරක කටයුතු සඳහා පමණක් ජාතික රූපවාහිනියට මිලියන 177 ක් හම්බ වෙලා නැහැ. ඒක ඉල්ලුවාම මහා භාණ්ඩාගාරයෙන් දෙන්න විදිහක් නැහැ කියනවා. නමුත් වෙළෙඳ දැන්වීම් දෙන්නම් කියනවා. මූණේ මහන්සි පාට තිබෙන, නින්ද යන්නේ නැති, ඇස් ගිලිච්ච ඇමැතිවරයෙක් කියා එතුමා එතුමාව හඳුන්වාගෙන තිබෙනවා. මහජන මුදල් සමග ආණ්ඩුවේ දේශපාලනඥයන් හැසිරෙන විදිහ අපි තේරුම්ගත යුතුයි. තරුපහේ මාධ්‍ය භාවිතාවක් ගැන කතා කරමින් සිටිනවා. ආණ්ඩුවේ මේ නිර්දය හැසිරීම පිළිකුල් සහගතව ප‍්‍රතික්‍ෂෙප කරනවා.

චමින්ද කරුණාරත්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස