අපි විශේෂ වරප්‍රසාද ඉල්ලුවෙි නෑ! ඉස්ලාම් චාරිත්‍ර ඉටුනොකර ආදාහනය කළා කීවා විතරයි! – හකීම්

April 1, 2020 at 2:03 pm | by emanisa.lk

ඊයේ දිනයේ තමා නිවේදනයක් නිකුත් කළේ කොරෝනා ආසාධිතව මිය යන මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද ඉල්ලීමට නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවූෆ් හකීම් පවසයි.

ඔහු ඒ පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහනක් මෙසේ.

අනපේක්ෂිත අර්බුදයකින් මුළු ලොවම පීඩා විදිත්දී ජාතිවාදය වපුරාලීම හෝ ජාතිය ඇමක් කොට වෙනත් විශේෂ වරප්‍රසාද ලබා ගැනීමට මම අපේක්ෂා නොකළෙමි.

ආගම යනු ඔබට මට සියලු දෙනාට සංවේදී කරුණකි.

මරණයද එසේමය. මුස්ලිම් ජාතිකයකුගේ මරණයකදී අප විසින් අනුගමනය කරනු ලබන අනිවාර්‍ය චාරිත්‍ර වාරිත්‍ර තිබේ. මා දන්නා තරමින් ශ්‍රී ලාංකේය පාරිහාරිය බුදුසමයෙහි ද සංස්කෘතියෙහිද එවන් අවමංගල චාරිත්‍ර ඇත. Covid-19 වැලදීමෙන් අපගේ සහෝදර මුස්ලිම් ජාතිකයකු මිය ගිය අතර ඔහු මෙතෙක් අප අනුගමනය කරන ලද අනිවාර්‍ය අවමංගල චාරිත්‍රයන්ගෙන් තොරව ආදාහනය කිරීමට සිදුවීම බොහෝ මුස්ලිම් ජාතිකයන්ගේ කණගාටුවට හා කැලබීමට හේතු වූ කරුණක් විය.

සාමාන්‍ය ආකාරයෙන් චාරිත්‍ර ඉටු කිරීමට මෙය සාමාන්‍ය අවස්ථාවක් නොවේ. අප එය නොදන්නවා ද නොවේ. අප ජාතියේ ප්‍රධාන නියෝජිතයෙකු ලෙස ඊයේ එය එසේ වීමට හේතුව මට පැහැදිලි කිරීමට අවශ්‍ය විය. නමුත් එය බොහෝ දෙනෙක් වරදවා වටහා ගෙන තිබුණි. සැබැවින්ම මෙතන ප්‍රශ්නය ඇතිවූයේ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම පිළිබඳව නොවේ.

භූමදානය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් කල නීතිරීති වලට හෝ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රලේඛ වලට අනුකූල නොවන්නේ ද නොවේ. ඒ බව අප දන්වා සිටි විට සෞඛ්‍ය බලදාරිහු මීගමුවේදි භූමදානය කිරීම නොකළ හැකි බවට සහේතුක හා සාධාරන කරුණු ඉදිරිපත් කළ අතර, මාලිගාවත්ත වෙත ගෙන ඒමට අපගේ ඉල්ලීම සහේතුකව ප්‍රතික්ෂේප කරන ලදී.

කිසිදු සෞඛ්‍ය බලධාරියෙකු හෝ සේවකයකු පිලිබදව අපගේ ගෞරවයක් මිස කුමනාකාරයේ අප්‍රසාදයක් ද නැත. සිදු වූ දේ පැහැදිලි කිරීමේ දී මට ඇති අයිතිය හා සමාන අයිතියක්, කියූ දේ නොව හිතේ ඇති දේ හෝ තම තමන් වටහා ගත් දේ ද්වේශ සහගතව ප්‍රචාරය කරන ඔබට ද ඇත. ඔබ මගේ අයිතියට ගරු කළද නොකළද මම ඔබේ අයිතියට ගරු කරමි.

ස්තූතියි.
රවුෆ් හකීම්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස