GMOA මිනී මරණ සාතන්ගේ සංගමයක්…! – GMOF..

December 23, 2021 at 3:44 pm | by emanisa.lk

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීමි සඳහා දේශපාලන බලපෑම් නොව එය මාෆියා සංවිධානයකට නතුව පැවැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය අද (23) ප්‍රකාශ කළේය.

එහි මාධ්‍ය ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න පැවසුවේ මාෆියා සංවිධානයෙන් වෛද්‍යවරු ගැලවී සෞඛ්‍ය අමාත්‍යවරයාට යම් වෙනසක්  පෙනෙන්නට ඇති බවත් තව දුරටත් එම මාෆියා සංගමයට නතු නොවී ඇමතිවරයාගේ අධිකාරී බලය නිසි ලෙස භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු වෙන බවත්ය.

අධිකරණ වාරණයක් ද සහිතව කිසිදු නීත්‍යානුකූලභාවයකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කුමන්ත්‍රණකාරී වැඩ වර්ජනයක නියැලී සිටින බව ද වෛද්‍ය ප්‍රේමරත්න කියා සිටියේය.

මේ වන විට 90%ක් පමණ වෛද්‍යවරු ඔවුන් සමඟ නොමැති බවත් ඔහු පැවසුවේය.

මෙතෙක් කල් වෛද්‍ය පරිපාලනය තමන්ගේ ග්‍රහණයට නතු කරගෙන මාරු මණ්ඩල සියල්ල පාලනය කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වන අතර එයින් රටට වැඩක් කරන අහිංසක වෛද්‍යවරුන්ට බලවත් ආසාධාරණයක් සිදුවූ බවද ඔහු සඳහන් කළේය.

පත්වීම්, උසස් වීම්, ස්ථාන මාරු ක්‍රියත්මක කිරීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිසි බලධරයා ලෙස එම අණ පනත්වලට අනුව නිවැරදිව සිදුකිරීම කරනවා මිස මාෆියා සංවිධානයකට එය යටත් කළ යුතු නැති බවයි වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න පැහැදිලි කළේ.

”අනුරුද්ධ පාදෙණිය හැදුවා කියන ජාතික වැටුප් ප්‍රතිපත්තියෙනුත් කළේ වෛද්‍යවරුන්ට ආසාධාරණයක්. පාදෙණියට ප්‍රතිපත්ති හදන්න බැහැ. හැබැයි එයා හිතගෙන ඉන්නවා හැමදෙයකටම විශේෂඥ කියල.පස්වලට, ගැඩවිලුන්ට, වසවිස, කොළ කැඳ, අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම්වලට විශේෂඥයෙක් කියල එයා හිතාගෙන ඉන්නවා.එයාලගේ වැඩවලින් අද ගොවියෝ ඇතුළු මහජනතාව ඉතා අසරණ වෙලා ඉන්නේ.මේ කේවට්ට උපදෙස් අරන් වැඩකිරීම ගැන මම රජයටත් මේ වෙලාවේ චෝදනා කරනවා.”

මිනිස්සුන්ව බිල්ලට ගනිමින් කිසිදු හේතුවක් නොමැතිව අසාධාරණ ලෙස වැඩවර්ජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාතන්ගේ සංගමයක් බවයි වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස