සැලසුම් කළේ පොලිසියට ගහලා මදූෂ් පන්නන්න! අවසාන මොහොතේ සැලසුම ගැස්සෙයි!

October 21, 2020 at 9:13 am | by emanisa.lk

මිනීමැරුම් සහ කුඩු ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ් මාලිගාවත්ත, ඇපල්වත්තේ දී ඊයේ (20) අලුයම තුනට පමණ ඝාතනයට ලක්විය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට මාලිගාවත්තේ ‘ලක්සෙත’ මහල් නිවාස සංකීරණයේ සඟවා ඇති කුඩු තොගයක් පෙන්වීමට යාමේ දී නාඳුනන කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් මධුෂ් ඝාතනයට ලක්වූ අතර එහිදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුටද තුවාල සිදුවී ඇත.

ඊයේ (20) අලුයම තුනට පමණ මාකඳුරේ මධුෂ් සමග පොලිස් කණ්ඩායම ලක්සෙත නිවාස සංකීර්ණයට ඇතුල්වත්ම එහි ප්‍රධාන දොරටුව හා පළමු මහලේ තරප්පු පෙළ අසල දී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. සැඟවී වෙඩි තැබූ වෙඩික්කරුවන් පොලිසිය පැමිණි වාහනයට අත්බෝම්බයක් ද දමා ගසා ඇත.

මෙම ප්‍රහාරයෙන් පසු වෙඩික්කරුවන් පළා ගොස් ඇති අතර පොලිසිය තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මෙහි දී මාකඳුරේ මධුෂ් මියගිය බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් සඳහන් කරයි.

පොලිස් කොස්තාපල් අතපත්තු (30017) හා කුමාර (90242) යන දෙදෙනාගේ පාදවලට තුවාල සිදුවී ඇත. ප්‍රහාරයට පැමිණි බව කියන දෙදෙනා දමා ගිය යතුරුපැදියක් හා පිස්තෝලයක් මෙන්ම ටී 56 හිස් පතොරම්ද එම ස්ථානයේ තිබී හමුවිය. WPBDJ 7467 දරන යතුරුපැදිය වැල්ලවත්තෙන් සොරකම් කළ එකක් බව හෙළි විය.

මාකඳුරේ මධුෂ් හෙළි කළ පරිදි ලක්සෙත නිවාස සංකීර්ණයේ දහ වැනි මහලේ නිවස පරීක්ෂා කිරීමේ දී රුපියල් කෝටි විසිදෙකක් වටිනා කුඩු කිලෝ විසිදෙකක් හමුවී තිබේ.

මෙම මත්කුඩු තොගය ඇල්ලීමට යන මොහොතේ පොලිසියට ප්‍රහාරයක් එල්ල කොට මාකඳුරේ මධුෂ් පැහැරගෙන යාමට වෙඩික්කරුවන්ගේ සැලසුමක් පැවැති බවට සැක පහළ වීමත් සමග මේ වන විට ඒ පිළිබඳ විමර්ශන අරඹා ඇතැයි පොලිසිය කියයි.

මේ අතර මාකඳුරේ මධුෂ්ගේ සිරුර ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට භාරදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නෙරංජලා ද සිල්වා ඊයේ (20) නියෝග කළාය.

මියගිය මාකඳුරේ මධුෂ්ගේ නීත්‍යනුකූල බිරිඳ විසින් මෘත ශරීරය හඳුනා ගත් අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මළසිරුර ඥාතීන් වෙත භාර දෙන ලෙස නියම විය.

නීත්‍යානුකූල බිරිඳ විසින් මධුෂ් සමග ඩුබායිහි ජීවත්වූ දෙවැනි බිරිඳට සිරුර භාර දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සනාථ කළේය. දෙවැනි බිරිඳ ලෙස සිටියේ මහරගම කළු තුෂාර නමැති පාතාළ නායකයාගේ බිරිඳය. මධුෂ්ගේ සිරුර දෙවැනි බිරියට භාරදුන් පසුව මහරගම මල් ශාලාවක් වෙත රැගෙන ගොස් තිබේ.

මාකඳුරේ මධුෂ් මිනිස් ඝාතන පනහකට ඍජුව හා වක්‍රව සම්බන්ධ වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස