අමල්ටත් වඩා හොඳට එක බත් පත බෙදාන කෑව මදූෂ්ව මං අඳුනනවා! – උදුල් ප්‍රේමරත්න

February 12, 2019 at 8:19 am | by admin

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් ඩුබායි වෙත ගොස් සිටින නීතීඥ උදුල් ප්‍රේමරත්න මේ දිනවලදී සමාජ ජාල ඔස්සේ දැඩි කතාබහකට ලක්වී තිබෙනවා. ඒ ආකාරයට එල්ල වෙන චෝදනාවන්ට මුහුණුපොත හරහා පිළිතුරක් ලබා දීමට නීතීඥ උදුල් ප්‍රේමරත්න කටයුතුකර තිබුණා.එහිදී ඔහු දක්වා ඇත්තේ අමල්ට වඩා ඔහු මදුෂ්ව දන්නා බවයි.

මෙරට පාතාළයේ ප්‍රබලයකු වන මාකඳුරේ මදූෂ්ගේ සාදයක ගී ගැයිම පිිණිස ඩුබායි ගොස් සිටිය දී අත්අඩංගුවට පත් අමල් පෙරේරා සහ නදිමාල් පෙරේරා නිදහස් කර ගැනීම පිණිස ඩුබායි බලා ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්න මේ වන විට සමාජජාලාවල බොහෝ කතාබහට ලක්ව තිබේ. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වන උදුල් පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එකතු විය.

ඔහුගේ ඩුබායි ගමන පිළිබඳ තවත් සමාජ ක්‍රියාකාරිකයකු වන විදර්ශන කන්නංගර ෆේස්බුක්හි සටහන් කර තිබුණේ සිය මිතුරු උදුල් පාතාළ ධන කුවේරයන්ට නීතිමය රැකවරණ දීමට මැදිහත් නොවනු ඇතැයි ද එසේ වන්නේ නම් ඔහු ඉතිහාසය පාවා දුන් නරුමයකු වනු ඇති බවය.

“පාතාල ධනකුවේරයන්ට නීතිමය රැකවරණය දීමට මා සුමිතුරු උදුල් ඉදිරිපත් නොවේයැයි මම සිතමි.එසේ නොවේ නම් ඔහු සිය සටන් ඉතිහාසය පාවා දුන් නරුමයෙකි.”

ඊට පිළිතුරු ලෙස උදුල් ප්‍රේමරත්න ෆේස්බුක්හි තැබූ සටහන මෙසේය.

“කනා මෙච්චරයි කතාව. මම ඩුබායි ආව. ඒ අමල් හා නදීමාල් වෙනුවෙන් කරන්න යමක් තියෙනවා නම් කරන්න. එපමණයි.
ලංකවෙ ඉන්න සමහර ගෝතයො වගේ “ඔබට මදූෂ් හමුවී තිබේ ද වගේ ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත් මම නම් ඇඹරෙන්නෙ නැහැ. උඹ හොඳටම දන්නවා ඒක. මට මදූෂ් හමුවී තිබේ පමණක් නොව ඔහු සමග එකම අඩි 6,10 කාමරයක එකම බත් පත කමින් මාස 4කට වැඩි කාලයක් ගත කර තිබේ කියලා මම කියනවා. ඒ කොයි කාලෙ ද, කොහේදිද ඇහුවොත් මීට වසර 9කට පෙර කොළඹ CRP බන්ධනාගාරයේ J2 වාට්ටුවේදී බව මම කියනවා.”

“ඇත්තටම ගත්තොත් අමල් අඳුරනවාට වඩා වැඩි කාලයක් මම මදූෂ් අඳුරනවා. මට හොඳටම පුළුවන්කම තිබුණා මේ case එකේදි කාටවත්ම නොදන්වා ඩුබායි ඇවිත් මදූෂ් ගලවන්න සම්බන්ධ වෙන්න. නමුත් මම හිතනව එහෙම කළ යුතු නැහැ කියලා.”

“මොකද වැරදිකරුවෙකුට විශේෂයෙන් මෙවැනි ආකාරයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධ හා මිනී මැරීම් ඇතුළු බරපළ ගනයේ අපරාධ සම්බන්ධ චෝදනා එල්ලවූ අයෙකු නීති තර්ක යොදාගෙන ගලවා ගැනීම කල යුතුයි කියල මම විශ්වාස කරන්නෙ නැහැ. මම කරන්නෙත් නැහැ. උපරිම දඩුවම් දිය යුතුමයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *