හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදයේ යෙදුණේ යැයි චෝදනා කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් වැඩ තහනම් කරමින් නිකුත් කළ නියෝගය වහාම අවලංගු කර තමන් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස පත් කිරීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එකී වැඩ තහනම් කිරීමේ නියෝගය මගින් තමන්ට සිදුවූ මානසික පීඩනයට හා අවමානයට වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන ලෙසට ද පෙත්සමේ නීතිඥ මංජුල බාලසූරිය මගින් ගොනු කළ එම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ඉල්ලා තිබේ. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා හා එම කොමිෂන් සභාවේ ලේකම්වරයා ඇතුළු සාමාජිකයන් ද, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සෙසු සාමාජිකයන් දෙදෙනා, ආරක්ෂක ලේකම්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා හා නීතිපතිවරයා ඇතුළු 17 දෙනකු ද නම් කොට ඇත.
නිසි විමර්ශනයකින් තොරව සිදු කළ එකී වැඩ තහනම් නියෝගය නිසා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටුකළ තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් තමන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.