සිංහල අලුත් අවුරුද්දට ජනතාවට සහන සැලසීම සඳහා හිඟ බිල්පත් ගෙවීමට මැතිසබයට ගෙන ආ මුදල් යෝජනාව ඉල්ලා අස්කර ගැනීමේ වගකීම එජාපය භාරගත යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
විපක්ෂයේ පක්ෂ නායකයන් රජයේ මුදල් යෝජනාවේ වැදගත්ම කොටස පරාජය කරන බව පක්ෂ නායක හමුවේදී දැනුම් දුන් නිසා විපක්ෂයට ආණ්ඩුව පරාජය කිරීමේ ආශ්වාදය විඳගන්නට ඉඩ නොදීම පිණිස රජය සිය යෝජනාව ඉල්ලා අස්කරගත් බවද අගමැතිවරයා පැවසීය.
ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම්වල ලක්ෂ ගණනක් වන සේවකයන්ට, රජයේ රෝහල්වලට බෙහෙත් සැපයූ සැපයුම්කරුවන්ට මෙන්ම රජයෙන් මුදල් ගෙවීමට තිබූ තවත් ලක්ෂ ගණනකගේ ණය ගෙවීම නැවැත්වූයේ විපක්ෂය බව ප්‍රකාශ කළ අගමැතිවරයා ජනතාව දැන් මේ ගැන නව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රශ්න කළ යුතු යැයි ද කීය.
මෙලෙස පියවීමට තිබුණේ පසුගිය යහපාලන ආණ්ඩුව නොගෙවූ බිල්පත් රැසකි. එම මුදල පියවීමට ඔවුන්ම රජයට ඉඩ නොදීමෙන් විපක්ෂය ගෙන යන පටු හා පහත් දේශපාලනය ජනතාව විසින් හඳුනාගත යුතු යැයි මහින්ද රාජපක්ෂ අවධාරණය කළේය.