සර්වපාක්ෂික ආණ්ඩුවකට මේ රට තුන් මාසෙන් හදන්න පුළුවන්..! – විමල්..

June 27, 2022 at 11:24 pm | by emanisa.lk

ජනාධිපතිවරයා ධුරයෙහි රැඳි සිටීම හෝ නොසිටීම පිළිබඳ කොන්දේසිය ඉවතලා ඇති ජනතා විමුක්ති පෙරමුණ තම පාලනයකට මාස හයෙන් රට ගොඩගන්නට පුළුවන් බව පවසා ඇති තත්ත්වයක් තුළ තම විශ්වාසය වන්නේ ඔවුන් ද ඇතුළත් සර්වපාක්ෂික ආණ්ඩුවකට මේ රට මාස තුනෙන් ගොඩගැනීමට පුළුවන් බව යැයි ද එවැනි සර්ව පාක්ෂික පාලනයකට ජාත්‍යන්තර විශ්වාසය කඩිනමින් දිනාගත හැකි යැයි ද ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පැවසුවේ අද(27) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘THE SHOCK DOCTRINE’

“මේ අර්බුදය උග්‍ර අතට හැරීමට පෙර අප කිහිප වතාවක් මහජනතාව සහ පාලනතන්ත්‍රය දැනුවත් කර සිටියා, කල්තියා පෙර ක්‍රියාමාර්ග නොගැනීමෙන් සිදුවෙන්නේ පාලනය කරගත නොහැකි මට්ටමට අර්බුදය උග්‍ර වීමත් ඒක ආර්ථික ආපදාවක් දක්වා වර්ධනය වීමත් බව. නයෝමි ක්ලේන් නමැති ලේඛිකාව විසින් රචිත ‘ද ෂොක් ඩොක්ට්‍රීන්’ ග්‍රන්ථයේ සඳහන් පරිදි ඒ ආර්ථික ආපදාව පාවිච්චි වෙනවා ඉතා බිහිසුණු අවශ්‍යතා ඉටු කරගැනීම වෙනුවෙන්. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා, ‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉතිරි ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණයත් ඛනිජ තෙල් නිපදවන රටවල් කිහිපයක සමාගම් කිහිපයක් අතර බෙදී යන පරිදි ලබා දෙනවා’ යනුවෙන් පැවසීම ඒකට හොඳ නිදසුනක්. එහි අදහස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වසා දැමිය යුතුයි, යන්නයි. තවදුරටත් පැහැදිලි කළොත් රජය බලශක්ති සැපයීමේ වගකීමෙන් ඉවත් විය යුතුයි යන්නයි.

‘මැතිනිය ගෙන තිබූ තීරණය වැරදි ද?’

අපි දන්නවා සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක හිටපු අගමැතිතුමිය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිහිටුවීමට කටයුතු කළේ එතෙක් විදේශීය සමාගම් සතුව පැවති ඛනිජ තෙල් සැපයීමේ ආධිපත්‍ය සහ බලය අහිමි කරමින් බව. විශේෂයෙන් බලශක්ති සැපයීමේ වගකීම රජය සතුව පැවතිය යුතුයි, යන දැඩි විශ්වාසයේ සිටයි. කාංචන විජේසේකර ඇමතිතුමාට අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එදා ගෙන තිබූ තීරණය වැරදියි. කාංචන විජේසේකර මහතාගේ ප්‍රකාශය අනුව එදා සිටි කැල්ටෙක්ස් ඇතුළු අනෙකුත් තෙල් සැපයූ විදේශ සමාගම් දිගටම සිටියා නම් අද මෙහෙම අර්බුදයක් ඇති වන්නේ නැහැ. නමුත් අපි හොඳටම දන්නවා, මේ අර්බුදයට හේතුව ඛනිජ තෙල් සැපයීමේ සහ බෙදාහැරීමේ ඒකාධිකාරියක් හෝ අර්ධ ඒකාධිකාරයක් රජය සතුව පැවතීම නොවෙයි, කියා. ඒක නම් අර්බුදය අයිඕසී ඉන්ධන පිරවුම්හල්වලින් හෝ බාධාවකින් තොරව ඉන්ධන ලබාගත හැකි විය යුතුයි. අපි දන්නවා එම පිරවුම්හල්වලත් බරපතළ පෝලිම් සහ ඉන්ධන හිඟයක් පවතිනවා, කියලා. අයිඕසී සමාගම වුවත් තෙල් ගෙන්වන්නේ මේ රටේ සිට, මේ රටේ බැංකුවලින් එල්සී ඕපන් කරලා ඩොලර් යවලා. ඒ නිසා විදේශ සමාගම් ඇවිත් තමන්ගේ රටේ මුදල් වියදම් කරලා තෙල් ගෙනවිත් මේ රටේ විකුණාවි, කියන කතාව යථාර්ථයක් වීමට තිබෙන ඉඩකඩ අඩුයි. බැහැම කියා අපි කියන්නේ නැහැ. කොහොම නමුත් මේ තමයි ආර්ථික ආපදාව පාවිච්චි කරන විදිහ.

‘ෂොක් ට්‍රීට්මන්ට් එක’ යොදා ගැනීම

වෙන වෙලාවක මේ කතාව කීවා නම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති, සේවකයන් පාරට බැහැලා. සාමාන්‍ය තත්වයකදී අත තියන්න බැරි වැඩවලට අත තියන්න මේ වෙලාව පාවිච්චි කරනවා. අපි කිව්වේ මේ අර්බුදය, පුනරුදය බවට පත් කිරීමේ මාවතකයි මේ රට රැගෙන යා යුත්තේ, කියලයි. නමුත් ඒ වෙනුවට අර්බුදය තවදුරටත් වැඩි කරන, ‘තියෙන පනම් අටත් නැති කරගන්න’ මාවතකයි මේ රට අද වර්තමාන පාලකයන් විසින් රැගෙන යමින් තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා එනකොට යම්කිසි කොටසක් තුළ යම්කිසි බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ බලාපොරොත්තුව නැත්තටම නැති වන මට්ටමකට අද ඇවිත් තිබෙනවා. ජනතාව මේ දින කිහිපය පුරාම තෙල්, ගෑස් පෝලිම්වල දුක් විඳිනවා. ඔවුන් දැන් පීඩාවකට, ආතතියකට ලක් වෙලා තිබෙනවා. ඒ ආතතියම ‘ෂොක් ට්‍රීට්මන්ට් එක’ දෙන්න පාවිච්චි කරනවා. අද සිදුවෙමින් පවතින්නේ එයයි.

‘ඉන්දියාවේ ප්‍රාණඇපයට’

මේක මීට පෙර වෙනත් රටවලත් සිදුව තිබෙනවා. ටික දවසක් යනකොට කියාවි, ‘විදුලිය කප්පාදුව පැය දහයක් පමණ වෙයි. විදුලිය සැපයීම රජයට තනිව සිදු කරන්න බැහැ. ඒක ඉන්දීය සමාගමකට දෙමු. එතකොට පහසුවෙන් විදුලිය ලැබෙයි’ කියා. මිනිස්සුන්ට තිබෙන්නෙත් ආතතියෙන් පිරුණු විෂම මනසක් නිසා, එම විෂම මනස පාවිච්චි කරනවා මේ විදිහට විෂම තීරණ කරා සමාජය රැගෙන යාමට. ඒක හැම පැත්තකින්ම සිදු වෙනවා. සමහර වෙලාවට ෂෙඩ් එකක පෝලිමේ ඉන්නේ මිනිස්සු ගාවට කෙනෙකු ඇවිත් යම් කුඩා අඩුපාඩුවක් අල්ලාගෙන ආරවුලක් ඇති කරගත්තාම මිනිස්සු ඉන්නෙ විෂය මනසකින් නිසා ඒක ප්‍රවණතාවක්, ට්‍රෙන්ඩ් එකක් බවට පත්වෙනවා. අර තෙල් පෝලිමට එන හෙල්මට් එක දාගත්ත පුද්ගලයා ඒ තත්ත්වය යොදා ගන්නවා වගේ, ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සිට ආණ්ඩුවේ මැති ඇමතිවරු බලන්නේ මේ විෂම තත්ත්වය, ආතතිය ඉන්දියාව අපේ රට ප්‍රාණඇපයට ගැනීමේ අවස්ථාව දක්වා රැගෙන යාමට යොදා ගන්නයි.

‘සර්වපාක්ෂික භාරකාර මණ්ඩලයක්’

අද මේ ආර්ථීක අපදාව දැන හෝ නොදැන පාවිච්චි වෙන්නේ ශ්‍රී ලංකාව නැමැති ජාතික රාජ්‍යයේ අන්තිම පණ නළත් අහිමි වන ආකාරයට බවයි අපට පෙනෙන්නේ. අපි මේ තත්ත්වයෙන් ගොඩ ඒමට ඕනෑ තරම් විසඳුම් යෝජනා ඉදිරිපත් කළා. මම පසුගියදා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහ මේ රටේ ඩොලර් අතේ තිබෙන අයගේ ඩොලර් අරමුදලකට දමන්න අවශ්‍ය වැඩපිළිවෙළක්. ‘ඒ ඩොලර් සංචිතය මහ බැංකුව අතේ තබාගෙන සර්වපාක්ෂික භාරකාර මණ්ඩලයක් හදමු. ඒ සඳහා විපක්ෂ නායක, අගමැතිගේ නියෝජිත, අනෙකුත් පක්ෂවල නියෝජිතයන් ඇතුළත් කරමු’ කියා. එවැනි භාරකාර මණ්ඩලයක් හදපුවාම මිනිස්සු තුළ විශ්වාසය ජනිත වනවා. ඒ භාරකාර මණ්ඩලය තීරණය කරනු ලබන කටයුතුවලට පමණයි එම අරමුදලේ මුදල් යොදාගත හැකි වන්නේ. එසේ විශ්වාස ජනිත කළාම කිසිවකුත් මේ මොහොතේ දායකත්වය නොදී ඉන්නේ නැහැ. මේ මොහොතේ දී අපි එකිනෙකාට උදව් කර ගනිමු, යන මනස කා තුළත් ඇති වෙනවා. ඒකයි තෙල් පෝලිමේ එක බත්පත බෙදාගන්නා මිනිස්සු බිහිව ඇත්තේ. මම ඉහත යෝජනාව ඉදිරිපත් කළාම අගමැතිවරයා ‘ඒක හොඳ යෝජනාවක්. ක්‍රියාත්මක කරමු’ කියා පැවසුවා. නමුත් මෙවැනි යෝජනා කාර්යක්ෂමව, කල් නොයවා මේ මොහොතේම ක්‍රියාත්මක කිරීමයි වැදගත්.

‘විදේශ විනිමය පනත බලගැන්වීම’

දැන් බලන්න, විදේශ විනිමය පනත බලගැන්වීම මේ මොහොතේදීවත් සිදු කළාද? අපේ රටට ගෙන ආ යුතු මුදල් අපනයනකරුවකුට පිටරටක තබාගත හැකියි. මාස තුනෙන්, හයෙන් අපනයන ආදායම් රට තුළට ගෙන ආයුතු බව සඳහන් වූවාට එහෙම නොකළාම ගන්නා පියවර විදේශ විනිමය පනත තුළ සඳහන්ව නැහැ. මේ තමයි යහපාලනය සමයේ විදේශ විනිමය පනත දියාරු කරපු විදිහ. දැන් අපනයන ආදායම වැඩි වෙලා කියනවා. නමුත් ඒ ආදායම රට තුළ නැහැ. අපි හිඟමනට වැටිලා. ඒ ආදායම වෙන වෙන දේවලට යෙදවෙනවා.

‘රුසියාව සමග ගිවිසුම්ගත නොවීම’

විදේශ විනිමය පනත සංශෝධනය, මා ඉහත කී භාරකාර මණ්ඩලය සහිත අරමුදල පිහිටුවීම වැනි විවිධ පියවර ගන්න පුළුවන්කම තිබෙනවා. රුසියානු සමූහාණ්ඩුව අපට සෝවියට් සංගමය ලෙස පැවති කාලයේ පටන් සහයෝගය ලබාදුන් මිත්‍රයෙක්. අපි අපේ අවශ්‍යතා පිළිබඳව රුසියානු සමූහාණ්ඩුවත් සමග මීට පෙරයි සාකච්ඡා කළ යුතුව තිබුණේ. අද ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් ද රුසියාවෙන් තෙල් සහ ගෑස් ලබාගන්නවා. ඉන්දියාව, චීනය, තායිලන්තය, වියට්නාමය, සිංගප්පූරුව ආදී රටවල් රුසියාව සමග ගිවිසුම්ගතව සිටිනවා. මම මේ බව පාර්ලිමේන්තුවේදී පවසන විට කාංචන විජේසේකර ඇමතිවරයා අහනවා, ‘ඇයි හිටපු ඇමතිගේ කාලයේ රුසියාවෙන් තෙල්, ගෑස් ලබා නොගත්තේ?’ කියා. ඒ හිටපු ඇමතිගේ කාලයේ රුසියානු – යුක්රේන යුද්ධය තිබුණේ නැහැ. මේ ඇමතිතුමාට නොතේරෙන්නේ ඒක. යුද්ධය නිසා යුරෝපා වෙළෙඳපොළෙන් තර්ජනයක් පැමිණි පසු, සම්බාධක ආවාට පසු තමයි රුසියාව තෙල් සහ ගෑස් වෙළඳාමට ආසියාව දෙසට හැරුණේ. ඉන්දියාව රුසියාව සමග ගිවිසුම්ගතව ඒ වාසිය තමයි ගත්තේ. වර්තමාන වෙළෙඳ ඇමැති පාර්ලිමේන්තුවේ දී කීවා, ‘2022 අප්‍රේල්වල පැවැත්වීමට නියමිතව තිබූ රුසියානු – ශ්‍රී ලංකා ආර්ථික කොමිසමේ මෙවර සැසිය කල් දැමුවේ රටේ පැවැති අයහපත් වාතාවරණය නිසා’ කියලා. ඇයි ‘සූම් මීටින්’ එකක් තියන්න බැරිද? මම දන්නා පරිදි ඉන්දියාව රුසියාව සමඟ ගිවිසුම්ගත වීමට පෙර පවත්වා තිබුණේ එක ‘සූම් මීටින්’ එකයි. අපට එහෙම කරන්න රුදාවක් නැද්ද? දැන් ඉන්දියාවට පෙර ලබා ගත් මිලට වඩා 35%ක් අඩුවෙන් ඉන්ධන ලැබෙනවා. රුසියාව සමග ගිවිසුම්ගත වූ හැම රටක්ම අද ඒ වාසිය ලබනවා. අපිත් ඒ වාසිය ලබා ගත යුතුයි. නමුත් එහෙම කරන බවක් පෙනෙන්නේ නැහැ.

මේකද පෙන්වන ආදර්ශය?

දැන් ආරංචියක් තිබෙනවා, ඇමතිවරුන් දෙදෙනෙකු රුසියාවට යනවා කියා. මම හිතන්නේ නැහැ එහෙම ගියාට වැඩක් වෙයි කියලා. ඒකත් රටේ ඩොලර් ටිකක් වියදම් වීමක් පමණක් වේවි. ඒ වගේම එක් ඇමතිවරයකු බ්‍රිතාන්‍යයේ සුපිරි හෝටලයක නවාතැන් ගෙන ඉන්න බව දැන ගැනීමට තිබෙනවා. මේකද පෙන්වන ආදර්ශය? එහි මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ ඉඩකඩ නැත්නම් සාමාන්‍ය හෝටලයක නවාතැන් ගැනීම නේද සිදුවිය යුත්තේ? ජනතාව ඉතා දුක්ඛිත තත්ත්වයකයි අද ඉන්නේ. ආණ්ඩුව පැත්තෙන් ඔවුන්ගේ බලාපොරොත්තු දල්වන කිසිවක් සිදු කරන බවක් පෙනෙන්නේ නැහැ. දැන් අර නිතිපතා අනාවැකි කියන අගමැතිතුමාවත් හොයාගන්න නැහැ.

‘මාස තුනෙන් පුළුවන් වේවි’

මෙහෙම භාරකරුවකු නැතුව මේ රටට ඉදිරියට යන්න බැහැ. ඒ නිසා අපි ඉල්ලනවා කරුණාකරලා මේ කසිකබල් පාලනය වෙනුවට, සර්වපාක්ෂික පාලනයක් පිහිටුවීමට අදාළ පාර්ශ්වවලට ඉදිරිපත් වන්න කියා. සර්වපාක්ෂික පාලනයක් පිහිටුවලා මේ තත්ත්වය වෙනස් කිරීමට මැදිහත් වෙමු! ජනාධිපතිවරයා හිටියත් නැහැ වගේ තත්ත්වෙකට පත් කරමු! මම දැක්කා ඊයේ ජනතා විමුක්ති පෙරමුණ පවසනවා, ‘ජනාධිපතිවරයා හිටපුවාවේ. අගමැතිකම, ඇමැති මණ්ඩලය අපට දෙනවා නම් මේක මාස හයෙන් ගොඩ ගන්නවා’ කියලා. එතුමාලාට මාස හයෙන් පුළුවන්නම්, අපි සියලුදෙනා එකතු වුණොත් මාස තුනෙන් පුළුවන් වේවි. හොඳයිනේ. දැන් ජනාධිපතිවරයා හිඳීම හෝ නොහිඳීම පිළිබඳ කොන්දේසිය එයාලා පැත්තක දාලානෙ තියෙන්නෙ. ජනාධිපතිවරයා හිටියත් නොහිටියත් සර්වපාක්ෂික පාලනයක් පිහිටුවනු ලැබුවොත් ජාත්‍යන්තර විශ්වාසය ඇති වෙනවා. මේ පවතින පාලනය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය නැහැ.

ඉන්දියාවෙන් ක්‍රෙඩිට් එකට ලැබුණු දේවල් නතර වුණාම මොකද කරන්නේ? කියලා උත්තරයක් සපයා ගන්න බැරි, එහෙම චින්තන ශක්තියක් නැති මිනිස්සුන්ට මේ රටේ මහජනතාව සමග සෙල්ලම් කිරීමට ඉඩ දී, මේ ආපදාව වෙන පටු උවමනාවන් වෙනුවෙන් පාවිච්චි කිරීමට ඉඩ දී, මේ රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීමට ඉඩදී නිහඬව සිටීමට අපට බැහැ. මුලින් කියයි ‘ඉන්දියානු රුපියල හොඳයි, ඔයාලා ඒක භාවිතයට ගන්න’කියලා. මහජනතාව තුළ විෂම මනසක් ඇතිව තිබෙන නිසා ‘ඒක හොඳයි, රුපියල බාල්දු වෙලා තිබෙන වෙලාවේ’ කියලා හිතෙයි. ඒ අනුව ඉන්දියාවේ රුපියල ලංකාව ඇතුළට එයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉතිරි ටිකත් අයි.ඕ.සී. එකට ලබා දීමට සැලසුම් හැදේවි. අදානිලා මන්නාරමේ දැවැන්ත සූර්ය විදුලි බලාගාර හදාවි. දැන් කියවෙනවා කන්කසන්තුරේ සිට තමිල්නාඩුව දක්වා දිවෙන නාවික මාර්ගයක් ගැන. මේ පෙනෙන්නේ මේ අර්බුදය පුනරුදයේ මොහොත බවට පත් කර නොගෙන එය, අසල්වැසියාගේ ආධිපත්‍යයට අපේ රට සම්පූර්ණයෙන්ම යටත් කිරීම සඳහා යොදා ගනිමින් තිබෙන බවයි. එහෙම පිරිසකට මේ රට පාලනය කිරීමට ඉඩදී බලා සිටීම ඉතා භයානකයි.

ඒ නිසා තමයි අපි අන්තිම තත්පරේදීත් යෝජනා කරන්නේ ‘සර්ව පාක්ෂික පාලනයක් ගොඩනගමු! ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කරමු! රට තුළ සිටින යමක් කළ හැකි පිරිස සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් තුළ විශ්වාසය ජනිත කරමු! ආර්ථික අර්බුදයට ගොදුරු වී සිටින මහජනයාට නැගී සිටීමේ මානසිකත්වයෙන් ඉදිරියට ඒම සඳහා වැඩපිළිවෙළක්, සැලැස්මක් රට ඉදිරියේ තබමු! ‘ කියා. එහෙම කටයුතු නොකළොත් ජාතියක් ලෙස අපේ පැවැත්ම සම්පූර්ණයෙන්ම අවසන් වේවි.”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ද එක්ව සිටියේය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2022-06-27

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස