සමහරුන්ගේ තීන්දු එන්නත් වැඩසටහන අවුල් කරලා..! ඇතැම් රැස්වීම් සහ තීන්දු ගැන මම දන්නෙත් නෑ…! – කොරෝනා රෝග පාලන ඇමැතිනි…

February 25, 2021 at 10:32 am | by emanisa.lk

කොරෝනා එන්නත් කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ලබාදුන් උපදෙස් පවා වෙනස් කර ඇතැයි කොරෝනා රෝග පාලන රාජ්‍ය ඇමති සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ සඳහන් කරයි.

තමනට කොරෝනා පාලන වගකීම බාර දී තිබුණ ද තමන් සමහර රැස්වීම් පිළිබඳ නොදන්නා බව ද ඇය සඳහන් කළාය.

ඇය මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

“ජාත්‍යන්තර නිර්දේශවල තියෙන්නේ ප්‍රමුඛතාව වයස 60 අයට දෙන්න කියලා. ඒ මරණ අනුපාතය අඩු කරන්න. අපේ රටේ මරණ අනුපාතිකය සියයට 0.5%යි.

අපේ රෝගීන්ගේ දත්ත ගත්තාම බහුතරයක් ඉන්නේ වයස 30 –60 දක්වා. අපේ රටේ තීන්දුවක් ගත්තා 30 සිට ඉහළට එන්නත ලබා දෙන්න කියලා. එන්නත ලබාදීමේ අරමුණ 2ක් තියෙනවා.එකක් තමයි මරණ අනුපාතය අඩු කර ගැනීම. ඒ නිසා තමයි 60 ඉහළ අයට අවධානය යොමු කරන්නේ. ඒ අතරම රෝග පැතිරීම පාලනය කර ගන්න. ඒ නිසා තමයි 30 සිට 60 ජනගහනය ඉලක්ක කර ගත්තේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ ඉතා හොඳ සැලසුම් සකස් කරලා තිබුණත් හදිසි යම් යම් අය ගත්ත තීන්දුවක් නිසා 30 සිට 60 ජනතාවට විතරයි එන්නත ලබා දුන්නේ. 60ට ඉහළ අයට ලබා දුන්නේ නෑ.

එයින් අනතුරුව තමා ජනාධිපතිවරයාව සහ කාර්ය සාධන බලකාය දැනුම්වත් කර තීන්දුවක් ගත්තා වයස අවුරුදු 30 සිට ඉහළ සියලු දෙනාටම අනිවාර්යෙන් 60 ඉහළ අයටත් මේ එන්නත ලබා දෙන්න ඕන කියලා. ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය මේ වන විට තාවකාලිකව නැවතිලා. නැවත ලබන සිකුරාදා සිට එන්නත් කිරීම ආරම්භ කරනවා.

එන්නත්කරණය පිළිබඳව ජනතාවට හොඳින් සන්නිවේදනය ගියේ නෑ. මම දන්නේ නැතිව තාක්ෂණික කමිටුව ගත්ත තීන්දුව පැත්තකට දාලා යම් යම් නිලධාරින් තීන්දු ගත්ත අවස්ථා තිබෙනවා. එය නිවැරදි කිරීමට කටයුතු කරනනවා.

අවුරුදු 18 ට අඩු දරුවන්ට ද ගර්භණි මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට මේ එන්නත ලබා ගැනීමට හැකියාව නැහැ. ජන ජිවිත සාමාන්‍ය තත්ත්වයට ගෙන්න මේ අවුරුද්දේ මැද වෙනකොට බොහෝදුරට ඉඩ තියෙනවා. චිනයේ එන්නතක් සහ රුසියාවේ ස්පුට්නික් 5 එන්නත ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉල්ලුම් පත්‍ර ලැබිලා තියෙනවා.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස