විමල්ගේ හැසිරීම නින්දිතයි…කුජිතයි…! ඔහුට හොඳ ම අමාත්‍යංශෙ දුන්නේ බැසිල්…! බැසිල්ට තරහ යන්නේ හොරකමේ දී විතරයි….! – මහින්ද පතිරණ…

June 20, 2021 at 11:19 am | by emanisa.lk

ශ්‍රී ලංකා පුවත්පත් මණඩල සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ විසින් තබන ලද ෆේස්බුක් සටහනකි.

විමල් ඔබට ස්තුතියි
================
ඇත්ත වශයෙන්ම ම විමල් දේශපාලනයෙහි දක්ෂයෙකු නම් ඔහු කරනු ඇත්තේ ප්‍රතිපත්තිමය හේතු මත කළ ආයතන මාරු කිරීම රටේ යහපතට සිදුවූවක් බව පවසා පසෙකට වීමය. එය ඔහු ගැන අලුතින් තක්සේරු කිරීමට කිසිවෙකු පොළඹනු ඇත. එහෙත් විමල් යනු තට්ටු කළ විට මහත් හඬ නගන හිස් බෙලෙක්කයක් පමණක් බව තමන් විසින් ම දැන් රටට නිරාවරණය කර නොතිබේද?

ඉතිහාසය විසින් ඒ ඒ පුද්ගලයින් වෙත තමා පරීක්ෂා කර ලෝකයට පෙන්වීම සඳහා දුර්ලභ අවස්ථා සූදානම් කර දෙයි. ඒවා ඉරණම්කාරීය. පරීක්ෂණය සමත් අසමත් වීම මත අදාළ පුද්ගලයා ගැන සැබෑව සමාජය විසින් තේරුම් ගනු ඇත. වසර ගණනාවකින් පසු විමල්ට ලැබුණේ මේ අවස්ථාවයි. ඔහුට ලැබෙන්නට තිබූ පෙර වෙනත් අවස්ථා සියල්ල ඔහු මගහැර ගියේය. ඒ සෑම අවස්ථාවකම “රට පෙරට” දමා පරීක්ෂණය දෙස බලා සිටින පිරිස්වල ඇසට වැලි ගැසීමට ඔහු සමත් විය.

ඔහුට එසේ හැකිවූයේ ඒ සියලු අවස්ථාවල පරීක්ෂණයේ ස්වභාවය ඉඳුරාම ඔහු ගැනම නොවීම නිසාය. එහෙත් පොස්පේට් සමාගම මාරු කිරීම සඳහා වූ තීන්දුවේ දී එම උප්පරවැට්ටි දැමීම අසිරු විය. එය ඉඳුරාම ම ඔහු ගැනම පරීක්ෂණයක් විය. විමල්ට තව දුරටත් බොරු සිල් රැකීම අසීරු විය. ඔහුගේ ඇත්ත බලලෝභය එළි බසින්නේ ඒ නිසාය.

ඇත්ත වශයෙන් ම විමල්ගේ හැසිරීම ලැජ්ජා සහගතය. හිරිකිතය, කුජීතය. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විට බව පැවසේ. විමල් මේතාක් රටට පෙන්වා ගෙන සිටි ඔහුගේ ඊනියා දේශප්‍රේමි සළුපිළි යටින් දිවෙන සැබෑ කැතකම, කෑදරකම හා බලය සඳහා වන නිර්ලජජ්තිත ආශාව ඕනෑවටත් වඩා දැන් පෙන්වා ඇත.

විමල්ලා විසින් වත්මන් ආණ්ඩුව තුළ පමණක් නොව, ඊට පෙර ද දැඩි සේ දෝෂ දර්ශනයට, මඩ අවලාදවලට බඳුන් කරන බැසිල් රාජපක්ෂ සිහි වන්නේ මෙතැන දී ය. ඔහුට කොතරම් නොපණත්කම් කීව ද බැසිල් නොවේ තිගැස්සුණේ. මාධ්‍ය වෙත පැමිණ ඇණුම් පද කීවේ නැත. අවලාද නැගුවේ ද නැත. නිහඬව තම යුතුකම ඉටු ක⁣ළේ ය. ඔහු වෙතින් වෙන්නට තිබෙන සියලු දෙය නොපිරිහෙලා ඉටු කිරීමට බැසිල් දෙවරක් හිතුවේ නැත.

ආණ්ඩුව පිහිටුවන්නට අවශ්‍ය සියලු දෙය සිදුකොට රටේ හොඳම කැබිනට් අමාත්‍යාංශ දෙක විමල්ට හා ගම්මන්පිලට ලබා දුන්නේ ද බැසිල්ගේ ඉල්ලීම පරිදිය. කිසිදු අවස්ථාවක පළිගැනීමේ චේතනාවක් නැති, ක්‍රෝධයක් වෛරයක් නැති බැසිල් විමල්ලා ගැන හිතුවේ කැරලි ගසන නොසණ්ඩාල දරුවන් ලෙස පමණි. ඒ තරමට මහා උපේක්ෂාවක් බැසිල් සතු විය. එහෙත් බැසිල්ගේ රතු ඉර පනින අවස්ථා කීපයකි.

පළමුවැන්න නම් කිසිවෙකු විසින් ජනතාව අසීරුවට පත්වන තීන්දු ගැනීමය. දෙවැන්න හොරකම හා වංචාවයි. අන් සෑම අවස්ථාවකම බැසිල් ඉවසන්නේ ය. ආණ්ඩුවක තමන්ට කුමක් ලැබෙන්නේ ද යන්න වැනි කාරණාවල දී බැසිල් තරම් නිර්ලෝභීත්වයක් පෙන්වන කිසිවෙකු මා දැක නැත. ඔහු දේශපාලන සත්වයෙකු බව සැබෑය. එහෙත්, ඒ තමන්ගේ බඩගෝස්තරය සඳහා නොවන බව ඔහු පුද්ගලික ව දන්නා කීප දෙනාට වුව ප්‍රත්‍යක්ෂ වී ඇත.

කෙනෙකු මේ චරිත දෙක හැදෑරිය යුතුය. ඒ ඔස්සේ ගත හැකි අනගි පාඩම් රැසකි. එය දේශපාලනයට පමණක් නොව අපගේ පුද්ගලික ජීවිතයට ද වැදගත් ය. මතුපිටින් බලන දෙයට වඩා දේශපාලනයේ සැබෑම ස්වරූපය ඇත්තේ එවැනි හැදෑරීම් තුළ බව මට ඇති පුද්ගලික අත්දැකීම් රැසකි. ඒවා ප්‍රසිද්ධියේ කීම උචිත නැත.

ඒ කෙසේ වෙතත්, විමල් ගැන මට කනගාටුවක් ද ඇත. ඒ ඔහු තමා නිරාවරණය කිරීම සඳහා මේ තරම් ඉක්මන් වීම නිසාය. සතුටක් ද ඇත. ඒ සැබෑ විමල් පෙන්වීම සඳහා ඔහු කටයුතු කිරීම නිසාය. මන්ද මේවා කෙදිනක හෝ සිදුවිය යුතු දේවල් බව ඉතිහාසය අපට පෙන්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස