ලෝක ක්‍රිකට් කුසලානය එකම වතාවක්වත් දිනා නොමැති ප්‍රබලම කණ්ඩායම් දෙකක් වන එංගලන්තය සහ නවසීලන්තය අතුරින් කවුරුන් පළමුව කිරුළ පළදයිද යන්න ඉරිදා (14) ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී තීරණය කෙරේ.
නවසීලන්තය අධික ශීතල දේශගුණයක් ද එංගලන්තය ඊට මදක් අඩු ශීත දේශගුණයක්ද සහිත රටවල්ය. මේ කණ්ඩායම් දෙකම කුසලානය දිනාගැනීමට සියලු උපක්‍රම, උපරිම දක්ෂ හා ධෛර්ය, විශේෂඥ උපදෙස් හා උපරිම තාක්ෂණික සහය ද යොදවන හෙයින් මෙය ශීතල යුද්ධයක්වනවා නිසැකය.
එංගලන්ත නායක ඉයන් මෝගන් පවසන්නේ අවසාන තරගය සාමාන්‍ය තරගයක් ලෙස සලකන බවය. හේතුව පීඩනයත් අප වෙත තබාගැනීමට අප කැමති නෑ. ඉන්දියාව සමග අවසාන පූර්ව තරගයේදී නවසීලන්තය ලබාගත් ලකුණු 239 පන්දු රැකීමෙන් හා යැවීමෙන් රැකගත් ආකාරය අප අමතක කරන්නේ නැතැයි මෝගන් කියයි. ලෝක ක්‍රිකට් කිරුළ අපේ මව්බිමට ගෙන එන තෙක් අපගේ ක්‍රීඩාලෝලීන් නොඉවසිල්ලකින් සිටිනවා. ඒ සඳහා උපරිමය යොදන බව නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසයි.
මෙම කණ්ඩායම් දෙක ජූලි 3වැනිදා චෙෂ්ටර් රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී මූලික වටයේ දී මුණ ගැසුණු අවස්ථාවේ එංගලන්තය ලකුණු 119ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කරගත්තේ ඕවර 50දී කඩුලු 8කට ලකුණු 305ක් ලබා පසුව නවසීලන්තය ඕවර 4.5කදී ලකුනු 186කට දවාලමිනි. මේ ප්‍රතිඵලය එසේ වුවත් අනේක වාරයක් යෝධයන් පැරැදී අගුටුමිට්ටන් ජයගෙන ඇති මේ අරුම පුදුම ක්‍රීඩාවේ 2019 ලෝක සූරතාව දිනාගැනීමට කණ්ඩායම් දෙකම මේ වන විට සම තත්ත්වයක පසුවේ.
ලෝක කුසලානය දිනාගනු ඇතැයි අපේක්ෂා කළ කණ්ඩායමක් වන ප්‍රබල ඉන්දියාව පරාජය කිරීමට නවසීලන්තය අවසාන පූර්ව තරගයේදී අප්‍රහත ධෛර්යයකින් ක්‍රීඩා කළ ආකාරයත් එංගලන්තය අවසාන පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාව අන්ත පරාජයකට ලක්කළ අන්දමත් බලන කළ ලෝඩ්ස් අවසාන තරගය තියුණු මුහුණුවරක් උසුලනු නියතය.
ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්තය තෙවතාවක් ද නවසීලන්තය එක්වරක්ද අවසාන මහා තරගවලට සුදුසුකම් ලැබුවත් කුසලානය දෝතට ගැනීමට තරම් කණ්ඩායම් දෙකම වාසනාවන්ත නොවීය. එංගලන්තය 1979 දෙවන ලෝක කුසලානය තරගාවලියේ දී ලකුණු 92කින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටද 1987 දී ලකුණු හතකින් ඕස්ට්රේලියාවටද 1992 දී ලකුණු 22කින් පාකිස්තානයටද පරාජයට පත් වූයේ දෙවතාවක්ම ජයග්‍රහණය පෙනි පෙනී තිබියදීය. නවසීලන්තය අවසාන ලෝක කුසලාන (2015) තරගාවලියේ අවසාන තරගයේදී ඕස්ට්‍රේලියාවට පරාජය වූයේ කඩුලු හතකිනි.
2011 ලෝක කුසලාන අවසාන තරගය පැවැති ඉන්දියාවේදී සත්කාරක ඉන්දීය කණ්ඩායමත් 2015 ලෝක කුසලාන අවසාන තරගය පැවැති ඕස්ට්‍රේලියාවේදී සත්කාරක ඕස්ට්‍රේලියාවත් කුසලානය දිනා ඇති හෙයින් මෙවරද සත්කාරකයන්ට කුසලානය හිමිවේයැයි යන්න තවත් මතයකි.
නවසීලන්තය මෙය වෙනස් කර කුසලානය සිය රටට ගෙනයාමට නම් ප්‍රවේගකාරී හා ආක්‍රමණශීලි එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා ජේසන් රෝයි සහ ජොනී බේස්ටෝ ඉක්මණින්ම ක්‍රීඩාගාරයට යවා ජෝ රූට්, බෙන් ස්ටෝක්ස් නායක ඉයන් මෝගන් සහ ජොස් බට්ලර් අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා කර ගත යුතුවේ. එලෙසම එංගලන්තයට හිසරදයක් වන නවසීලන්ත පිතිකරුවවන් වනුයේ නායක කේන් විලියම්සන් රොස් ටේලර් මාටින් ගප්ටිල් එච්.නිකල්ස් හා ටොම් ලේතම්ය.
ක්‍රිස් වෝක්ස්, ජොෆ්රා ආචර්, ලයම් ප්ලන්කට් මක් වුඩ්, අඩිල් රෂිඩ් හා මොයින් අලි එංගලන්ත කණ්ඩායමද ට්‍රෙන්ට් බෝල්ට්, මිචෙල් සැන්ට්නර්, ටිම් සවුදි, මැට් හෙන්රි සහ ජේම්ස් නිසාම් නවසීලන්තය ද නියෝජනය කරන දක්ෂ පන්දු යවන්නෝද වෙති.
මේ අවසාන තරගයට ඉන්දියාව සුදුසුකම් ලබා ගනිවී යැයි අපේක්ෂා කළ ඉන්දියානු ප්‍රේක්ෂකයෝ සති කිහිපියකට පෙරම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අඩකට ආසන්නව සියයට 41ක්ම ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබූ අතර ඒ ආසන්නයටම පැමිණෙන සෙන්ට් ජෝන්ස් වුඩ් දුම්රිය ස්ථානයට පැමිණෙන ප්‍රවේශ පත්‍රද විකිණී හමාරව තිබිණි. තරග නැරඹීමේ ප්‍රවේශ පත්‍ර ආපසු හුවමාරු කිරීමේ උත්සහයක්ද ක්‍රියාත්මකය. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද තම කණ්ඩායම අවසාන තරගයට සුදුසුකම් ලබාගනිවී යැයි සිතා කණ්ඩායමට ආපසු පැමිණිමට ගුවන් ප්‍රවේශපත් අවසාන පූර්ව තරගයයට පසුව වෙන් කර නොතිබූ අතර එම හේතුවෙන් ඔවුනට ඉරිදා (14) වනතුරු අවසාන පූර්ව තරගය පැවැති මැන්ඩෙස්ටර් නගරයේ නතර වීමට (ජගත් ක්‍රිකට් සමුළුවෙන් ලබාදුන් හෝටලයෙන් පිටත) නවාතැන් ගැනීමට සිදුව ඇත.
එංගලන්ත – නවසීලන්ත අවසාන තරගය විනිශ්චයට (තරග තීරක සහ තරග විනිශ්චයට) ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුටද අවස්ථාව ලැබීම විශේෂත්වයකි. රන්ජන් මඩුගල්ලේ තරග තීරක ලෙසද කුමාර් ධර්මසේන තරග විනිසුරු (පිටියේ) ලෙසින මෙදින ක්‍රියා කරති.
අවසාන තරගයට තේරී සිටින නවසීලන්තයට ශ්‍රී ලංකාව සමග අවසාන පූර්ව තරගවල සබඳතාවයක් පවතී. 2007 තරගාවලියේ කොදෙව් දූපත්හි ජැමෙයිකාවේත් 2011 ඉන්දියාවේත් අවසාන පූර්ව තරගවල දී නවසිලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසාන තරගයට සුදුසුකම් ලැබුවත් ශ්‍රී ලංකාවට අවසාන තරග ජයගැනීමට අවස්ථාවක් උදාවූයේ නොමැත.
එංගලන්තයේ ප්‍රවේශ පත්‍රවල වටිනාකමට තියුණු අවසාන තරගයක් ප්රේක්ෂයනට ලබාදීමට එංගලන්තය හා නවසීලන්තය කටයුතු කරනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාවයි. ශීතල දෙරටටම අපගේ උණුසුම් සුබ පැතුම්.
බන්දුල මොල්ලිගොඩ.