රාජ්‍යයේ ඒකග්‍රතාව ගැන හිතුවොත් සුළු වාර්ගික අයිතීන් මඟ ඇරෙනවා…! – 43 සේනාංකය අරඹමින් පාඨලීගේ ගෝලයා කියයි…

January 18, 2021 at 7:27 pm | by emanisa.lk

පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් 43 සේනාංකය ආරම්භ කිරීමේ අවස්ථාව අමතමින් එම සංවිධානයේ අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය සිදුකළ කතාව පහත දැක්වෙයි.

”සමෘද්ධිමත් සහ යුක්තිසහගත රටක් ගොඩ නැගීමට අපි මේ ආරම්භ කරන සංවාදයේ ඉලක්කය තමයි විවිධ ප්‍රතිපත්තීන් අතර තුලනයක් ඇති කර ගැනීම. අපි යහපත් යැයි කල්පනා කරන ඉලක්කයන් බොහෝ විට තවත් ඉලක්කයක් සමග ගැටෙනවා. උදාහරණයක් ලෙසට ජාතික ආරක්ෂාව නැතිනම් ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැගීම කෙරෙහි සම්පූර්ණ හිත යොමුකළහොත් අනෙක් පැත්තෙන් මානව අයිතිවාසිකම්, පුද්ගල නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය අප අතින් ගිලිහෙනවා.

ඒ වාගේම අපි මානව අයිතිවාසිකම්, පුද්ගල නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන පමණක් හිත යොමු කළහොත් එවිට සමහර විට ජාතික ආරක්ෂාව පිලිබඳ අවධානය අප අතින් ගිලිහෙනවා. ඒ නිසා අපට මේ දෙක අතර තුලනයක් ඇති කර ගන්න වෙනවා. අපට සංවාදයක් ඇති කර ගන්න ඕනෙ වෙලා තියෙන්නේ ඒකයි. නැතිනම් ජාතික ආරක්ෂාව තහවුරු කර ගන්න ඕනේ කොහොමද කියල ඇහුවොත් ඒ පිළිබඳ විශේෂඥකුට පුළුවන් ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද කියලා කියන්න.

හැම තැනම හමුදාව දාලා, හැමතැනම චෙක්පොයින්ට් දැම්මොත් ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා. නමුත් ප්‍රශ්නේ ඒ විදියට ජාතික ආරක්ෂාව තහවුරු කරත්දී අයිතිවාසිකම්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ නැති තත්ත්වයක් ඇතිවීම. අනෙක් පැත්තට කවුරු හරි ප්‍රජාතන්ත්‍රවාදය හා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥකුට කිව්වොත් ඔහුට පුළුවන් ඒවා උපරිමයෙන් හදන්න. හැබැයි එවිට ජාතික ආරක්ෂාව බිඳ වැටෙනවා. ඒ නිසා අපේ අභියෝගය තමයි මේ දෙක අතර තුලනයක් ඇතිකිරීම. ඒ නිසා ප්‍රතිපත්තිමය සංවාදය සඳහා අපි එකම එක පදනමයි යෝජනා කරන්නේ, ඒ තමයි තුලනය.

මේක අනෙත් දේවල්වලටත් අදාළ කරලා කතා කළොත්, ආර්ථික වර්ධනයත් එක්ක සමාජ සාධාරණත්වය ගැටෙනවා. අපි ආර්ථිකය වර්ධනය කරන එක ගැනම පමණක් හිතුවොත් සමාජයෙන් එක කණ්ඩායමක් අපිට මගහැරෙනවා. ඒ වගේම සුබසාධනයම අපි හිතන්න පටන් ගත්තොත්, අපෙන් ආර්ථික වර්ධනය මග හැරෙනවා. ඒ වගේම රාජ්‍යයේ ඒකාග්‍රතාව විතරක්ම අපි කල්පනා කළොත්, සුළු ජන වාර්ගිකයන්ගේ අයිතිවාසිකම් අපට මග හැරෙනවා. ඒ නිසා එතෙනට තුලනයක් ඕනේ.

රාජ්‍යයේ ඒකාග්‍රතාවත් තියෙන්න ඕනේ, හැබැයි දෙමල, මුස්ලිම්, ඒ වගේම වෙනත් ආගම්වලට අයත් අයගේ අයිතිවාසිකම් රැකෙන පරිසරයක් නිර්මාණය කර ගන්න අපට පුළුවන් වෙන්නත් ඕනෙ. ඒ වගේම අපි සංවර්ධනය පැත්තටම ගියොත්, පාරිසරික තිරසරබව අපට අහිමි වෙන්න පුළුවන්. ඒ වගේම පාරිසරික තිරසරබව පමණක්ම කතා කර කර හිටියොත් අපට සංවර්ධනය අහිමි වෙනවා.

ඒ වගේම ජාතික ස්වාධීනත්වය පමණක්ම කිය කියා හිටියොත් අපට ජාත්‍යන්තර සහයෝගය නැති වෙනවා. ජාත්‍යන්තර සහයෝගය විතරක්ම හිත හිතා හිටියොත් අපට ස්වාධීනත්වය නැතිවෙනවා. අපි දේශීයත්වය විතරක් අවධාරණය කළොත්, අපිට නවීනත්වය මගහැරෙනවා. ඒ වගේම අපි නවීනත්වය ගැන විතරක්ම හිතුවොත් අපිට දේශීයත්වය නැතිවෙනවා. මේක තමයි ප්‍රශ්නේ. මේක අපි හිතනවට වඩා විශාල අභියෝගයක්. අපි මේ රට ගොඩනගන්න නම් මේ තුලනයේ සූත්‍රය හොයා ගන්න වෙනවා”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස