රට වෙනුවෙන් පොහොට්ටුව එක්ක සාකච්ඡා කළේ දුගඳ නිසා නහය වහගෙන…! – ජානිපෙ…

May 4, 2022 at 9:24 am | by emanisa.lk

සමහර දුගඳ හැමීම හමුවේ නාසය වසාගෙන හෝ පුද්ගල රුචි අරුචිකම් නොසලකා හෝ දෙකෝටි විසිලක්ෂයක මෙරට ජනතාවගේ ජීවිත අවිනිශ්චිතතාවයෙන් මුදවා ගැනීම වෙනුවෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන ජාතික වැඩපිළිවෙළට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමෙහි පංච පුද්ගල කමිටුව මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ජානිපෙ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

ඒ මහතා මෙසේ සඳහන් කලේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවිර මහතා මෙසේද පැවැසීය.

“ඉතිහාසය විසින් නිර්මාණය කරදුන් විශාලතම ආර්ථික අර්බුදය හමුවේ රට පවතිනවා. ඉන් ගොඩඒමේ එකම මාවත පාර්ලිමේන්තුව තුළ සිටින සියලු පක්ෂ, ජාතික එකඟතාවකට පැමිණ, අවම පොදු න්‍යාය පත්‍රයක් රට තුළ ක්‍රියාත්මක කිරීමයි. අප දැනටමත් ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ලෙස ජාතික එකගතා ආණ්ඩු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා මේ වන විට ජනාධිපතිතුමන්ගේ ද පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රී කණ්ඩායම සතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද එකඟතාව පළ වී තිබෙනවා. අද දිනයේ දී සමගි ජන බලවේගය සමග ද ඉදිරි දින කිහිපය තුළ අනිකුත් පක්ෂ සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි. මීට අමතරව මෙම ජාතික එකගතා ආණ්ඩු වැඩපිළිවෙළ සඳහා වියතුන්, වෘත්තිකයන් හා සමාජ ක්‍රියාකාරිකයන්ගේ ද දායකත්වය ලබාගැනීම පිණිස වෙනම සාකච්ඡා වටයක් පැවැත්වෙමින් තිබෙනවා.

‘මහා සංඝරත්නය ඇතුළු සියලුදෙනාගේ අපේක්ෂාව’

පිහිටවනු ලබන ජාතික එකගතා ආණ්ඩුව තෙල්, ගෑස්, විදුලිය, ඖෂධ, පොහොර, කර්මාන්ත සදහා අමුද්‍රව්‍ය ආදිය හිඟයකින් තොරව සැපයීමටත් පොදුජන සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් අවශ්‍ය පියවර ගනු ලබනවා. රට ස්ථාවරත්වය කරා රැගෙන යාමට අදාළ පියවර ගනිමින් ස්ථාවර රටක් තුළ මහමැතිවරණයක් සඳහා ඉඩකඩ සලසා දීමට එම ජාතික එකගතා ආණ්ඩුව පියවර ගනීවි. ජාතික එකගතා ආණ්ඩු වැඩපිළිවෙළ බිඳදමන්න කකුලෙන් අදින පිරිසක් ද සිටිනවා. නමුත් ත්‍රෛනිකායික මහනාහිමිවහන්සේලාගේ අනුශාසනාව වන්නේ ද කාදිනල්තුමන්ගේ මග පෙන්වීම වන්නේ ද ජාතික මැතිවරණ කොමිසමේ නිර්දේශය වන්නේ ද අන්තර්කාලීන ආණ්ඩුවක් හෙවත් සියලු පක්ෂවල එකඟතාවයෙන් ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමයි. එසේම ව්‍යාපාරික ප්‍රජාව ද සාතිශය බහුතර රාජ්‍ය නිලධාරීත්‍රන්ත්‍රය ද ඉල්ලා සිටින්නේ මෙවැනි ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි.

‘රට ස්ථාවර කොට ඔබේ දරුවන්ගේ අනාගතය අවිනිශ්චිතතාවයෙන් මුදවා ගැනීමට ඇති එකම හා අවසාන විසඳුම වන මෙම ජාතික එකගතා වැඩපිළිවෙළින් පැන යාමට ඔබගේ ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයාට ඉඩ දෙන්න එපා!’ කියා අප මෙරට සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.”

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජයන්ත සමරවීර මහතා,

ප්‍රශ්නය:- ඊයේ(03) ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ පංච පුද්ගල කමිටුව පැවැත්වූ සාකච්ඡාව ‘විමල් – බැසිල්’ හමුවක් ලෙස ඇතැමුන් පෙන්වා දෙනවා…

පිළිතුර:- ඔබට මතක ඇති ආණ්ඩුව නියෝජනය කළ, පසුව ස්වාධීන වූ පක්ෂ 11ක මන්ත්‍රී කණ්ඩායම හා අනෙකුත් ස්වාධීන වූ මන්ත්‍රී පිරිස එකම කණ්ඩායමක් ලෙස මෙම ජාතික එකගතා වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිතුමන් සමග පසුගිය 29 වැනිදා පැවැත්වූ සාකච්ඡාවේදී එතුමා එම වැඩපිළිවෙළට ප්‍රතිපත්තිමය එකඟතාව පළ කළා. ඉන්පසුව ජනාධිපතිතුමන් ඉල්ලා සිටියා ජාතික එකඟතා වැඩපිළිවෙළට අනිකුත් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පක්ෂවල එකඟතාව ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට අප මන්ත්‍රී කණ්ඩායමෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරන්න කියා. ඒ අනුවයි සෙසු පක්ෂ සමග සාකච්ඡා කිරීමට නිමල් සිරිපාල ද සිල්වා. අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් යන මහත්වරුන්ගේ කමිටුව සකස් වුණේ. ඊයෙ (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එම කමිටුව සාකච්ඡා කළා. එහිදී එම පක්ෂයෙන් එහි සභාපති ජී. එල්. පීරිස්, ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගි කරවීමට එම පක්ෂය කටයුතු කර තිබුණා. කෙසේ නමුත් එම පක්ෂය ජාතික එකගතා වැඩපිළිවෙළට එකඟතාව පළකර සිටියා. අපට මෙහිදී සමහර දුගඳ හැමීම් මැද නාසය වසාගෙන හෝ පුද්ගල රුචි අරුචිකම් නොතකා හෝ රට වෙනුවෙන් සාකච්ඡා කිරීමට සිදු වෙනවා. මේ වෙලාවේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පාර්ලිමේන්තුව නියෝජනය කළා නම්, අදාළ සාකච්ඡාවට ඒ පක්ෂය වේළුපිල්ලේ පිරබාහරන් එවනු ලැබුවත් මේ රටේ වේදනාවට පත්ව සිටින දෙකෝටි විසිලක්ෂයක ජනතාව වෙනුවෙන් එම සාකච්ඡාව ප්‍රතික්ෂේප කිරීමට අප කිසිවකුටත් බැහැ. අපේ පරම වගකීම මේ මොහොතේ අපේ රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් එය ගලවා ගැනීමයි.

ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි ද?

පිළිතුර:- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවති සාකච්ඡාවේදී මෙම ජාතික එකඟතා ආණ්ඩුව පිහිටුවීමට අදාළ වැඩපිළිවෙළට ප්‍රතිපත්තිමය එකඟතාව පළ කරනු ලැබුවේ එම වැඩපිළිවෙළ හා බැඳුණු මූලික ලියවිල්ලෙහි අඩංගු කරුණු 11ට ද එකඟ වෙමින්. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු වත්මන් කැබිනට් මණ්ඩලය ඉවත්ව නව පාලනතන්ත්‍රයකට ඉඩදීමට ඔවුන් එකඟයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ඉල්ලා අස්වීම සිදුවේවි.

ප්‍රශ්නය:- සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අන්තර්කාලීන ආණ්ඩුවට එක්වීම තරයේ ප්‍රතික්ෂේප කරනවා නේද?

පිළිතුර:- ඔව්! නමුත් සමගි ජන බලවේගය සමග සාකච්ඡාවේදී අප විපක්ෂ නායකවරයාට ඒත්තුගැන්වීමට බලාපොරොත්තු වෙනවා, ‘මෙම එකම හා අවසාන ප්‍රතිකර්මයට ඔබ එකඟ නොවුණහොත් ඔබත් ඔබට ඡන්දය දුන් ජනතාවත් වැනසෙනවා’ කියා. ‘මේ මොහොතේ එවැනි ස්ථාවරයක සිටින සජිත් ප්‍රේමදාස මහත්තයාට උවමනා රටක්, රාජ්‍යයක් නැති හිස් භූමියක, බාහිර බලවතුන්ට යටත් වුණු රටක නායකයා වීමට ද?’ කියන ප්‍රශ්නය අපට තිබෙනවා.

ප්‍රශ්නය:- ජවිපෙ මේ මොහොතේ ‘වංචා, දූෂණ සහිත ෆයිල්’ එළියට දමමින් සිටිනවා…

පිළිතුර:- ඔවුන් මේ ෆයිල් මිටි ගණන් 2015 ජනාධිපතිවරණයට පෙර රට හමුවේ තැබුවා. යහපාලන ආණ්ඩුවේ ජාතික විධායක සභාවට පත් වුණු අනුර දිසානායක මහත්තයා, දූෂණ විරෝධී ලේකම් කාර්යාලයක් පිහිටුවා ගෙන, අලුතෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයක් හදාගෙන අවුරුදු 5ක් තිස්සේ හොරු අල්ලන්න හැදුවානෙ. නමුත් අල්ලපු හොරෙක් නැහැනේ. අපි ඔහුට ඇරයුම් කරනවා, ‘ඒ චෝදනා රැගත් ලිපිගොනුත් අරන් ජාතික එකගතා ආණ්ඩුවේ ජාතික සභාවට එන්න. ඇවිත් හොරු ඇල්ලීමේ වගකීම බාරගන්න’ කියා. මොකද, දේශපාලනතන්ත්‍රය හා රාජ්‍ය නිලධාරිතන්ත්‍රය පවිත්‍රකරණයට අදාළ යෝජනා ද සහිතවයි අපේ මේ ජාතික එකගතා වැඩපිළිවෙළ සකස්ව ඇත්තේ.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස