රට අරාජික නොකර තකතීරු පාලනය වෙනුවට අන්තර්කාලීන දැහැමි පාලනයක් ගොඩනගමු…! – විමල්….

April 4, 2022 at 7:24 pm | by emanisa.lk

රට අරාජික වීමට නොදී, මේ තකතීරු පාලනය වෙනුවට අන්තර්කාලීන – දෑහිතකාමී පාලනයක් පිහිටුවා එමඟින් පළමුව මේ රටේ ආර්ථිකය මුහුණ දී තිබෙන බරපතළ ඛේදවාචක තත්වය වෙනස් කර, දේශපාලන ස්ථාවරභාවය ඇති කොට, දෙවනුව රටේ ජනතාවට අභිමත පාලනයක් පිහිටුවා ගැනීමට මහා මැතිවරණයක් ලබාදීම මේ රටේ වගකිව යුතු දේශපාලන පක්ෂ වෙත පැවරී ඇතැයි ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

අද(04) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති පක්ෂ 11ක එකමුතුව සහ වෘත්තිය සමිති නායකයන් අතර සාකච්ඡාවේදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

‘තර්කානුකූල අවසානයක් කරා’

අපි අද ජීවත් වන්නේ ඉතා බැරෑරුම් තත්වයකට මුහුණ දුන් රටක. 2019 ජනාධිපතිවරණ ජනවරම සහ 2020 මහා මැතිවරණ ජනවරම යන දෙකම මේ රටේ ජනතාව සුවිශාල බලාපොරොත්තු සහ ගැඹුරු විශ්වාසයක් සහිතව ලබාදුන් ජනවරමවල්. 69 ලක්ෂයේ ජනවරම දෙස විවෘතව සහ අවංකව බලන්නේ නැතිව, එම ජනවරම තමන්ගේ පවුල් දේශපාලනයට ලැබුණු ජනවරමක් ලෙස වැරදියට කියවාගෙන, අඩුම තරමින් 2015 ජනවාරි 08 වැනි දා ලැබුණු පරාජයෙන් මොළයට වාසියක් කරනොගෙන ආපු ගමනක තර්කානුකූල අවසානයක් කරා දැන් ගමන් කරමින් තිබෙනවා.

‘ජනවරමට පටහැනිව යන අවස්ථාවල…’

ඔබට මතක ඇති 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැගෙන ආ අවස්ථාවේ අපි ආණ්ඩුව තුළ සිටිමින් එයට විරුද්ධව සටන් කළා. ‘සෞභාග්‍යයේ දැක්මට’ පටහැනිව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට දෙන්න හදපු වෙලාවෙත් අපි එයට බලවත් විරෝධතාවක් හැදුවා. එදා අපි ආණ්ඩුවේ ඇමැතිවරු ලෙස හිඳිමින්ම වෘත්තීය සමිති නායකයන් සමඟ සිට ගත්තා. යුගදනවි බලාගාරය ‘නිව් ෆෝට්‍රස්’ ඇමෙරිකානු සමාගමට දෙන්න හදන කොට එවැනි කරුණක් කැබිනට් මණ්ඩලයේදී සම්මත නොවූ බව අධිකරණය හමුවට ගොස් පවසන්න අපට හැකියාව තිබුණා. ආණ්ඩුවක් ලෙස ජනවරමට පටහැනිව ගිය බොහෝ අවස්ථාවල අපට පුළුවන්කම තිබුණා ඒවා වැළැක්වීමට කටයුතු කරන්න.

‘ජනවරම කිලිටි කළ පාපී බලවේග’

නමුත් ඒ විදිහට පමණක් මේ ජනවරම කිලිටි කරන පාපී බලවේග දුර්වල කරන්න බැරි බව අපට පෙනෙන්න පටන් ගත්තා. ඒ අනුව තමයි මේ ඇතිවෙමින් තිබූ ආර්ථික අර්බුදය කල්තියා දැකලා, ඒකෙන් ගොඩයන්න තිබෙන මාවත මොකක්ද කියලා, පැහැදිලිව පෙන්වා දුන්නේ. ඒ කිසිවක් ඇහුනේ නැහැ වගේ යනකොට, තමන් වැරදි පාරක යන බව පෙන්වා දෙන අය සතුරන් ලෙස දකින කොට අපට සිද්ධ වුණා මාර්තු 02 වැනිදා ‘මුළු රටම හරිමගට’ වැඩපිළිවෙළ එළිදක්වලා මේ යමින් තිබෙන ‘තකතීරු ගමනට’ එරෙහිව අපේ මතය ප්‍රකාශයට පත් කරන්න. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිව අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබුවේ. අපි ඒක සතුටින් බාර ගනු ලැබුවා.

‘බල පෙරේතකම’

ඒ ඉවත් කිරීමෙන් පසුව අපිට මේ අය රට පාලනය කරනු ලබන ඇත්ත ආකාරය ‘අමුවට’ මේ රටට කියා දෙන්න පුළුවන් වුණා. අමාත්‍ය මණ්ඩලය තුළ සිටින විට මේ තත්ත්වය ‘අමුවට’ කියන්න බැහැ. තරමක් ‘තම්බලයි’ කියන්න සිදු වුණේ. මේ අය තණ්හාව වැඩිකමට, බල පෙරේතකම බදාගෙන හිටියට දැන් පිළිගන්න වෙලා තියෙනවා රටට සිදුව ඇති විපත. ජනතාව තමන්ගේ පරමාධිපත්‍ය බලය මහ පාරට ගෙනාවාම ඕනෑම බල පෙරේතයෙක්ට දාලා යන්න වෙනවා, කියන එක මේ රටේ ජනතාව අද ඔප්පු කර පෙන්වා තිබෙනවා.

‘අපේ වගකීම’

නමුත් අපට තිබෙනවා වගකීමක්. රට අරාජික වෙන්න දෙන්න බැහැ. මේ රටේ පාලනයක් නැති තත්ත්වයක් ඇති වීමට ඉඩ දෙන්න බැහැ. මේ රට අස්ථාවර වීමට ඉඩ දෙන්න බැහැ .එහෙම වුණොත් ඕනෑ තරම් බාහිර ගිජු ලිහිණියන් බලන් ඉන්නවා, මේ වෙලාව තමන්ගේ වෙලාව බවට පත් කරගන්න, මේ රට තමන්ගේ කෙළිබිමක් බවට පත් කරගන්න. ඒ නිසා දේශපාලන පක්ෂවල හැමෝටම වගකීමක් තියෙනවා, මේ තකතීරු පාලනය වෙනුවට අන්තර්කාලීන, දෑහිතකාමී පාලනයක් පිහිටුවලා ඒ පාලනය මගින් මේ රටේ ආර්ථිකය මුහුණ දී තිබෙන බරපතල ඛේදවාචක තත්ත්වය වෙනස් කරලා, මේ දේශපාලන අස්ථාවරභාවය නැති කරලා, මේ රටට නිරෝගීව හුස්ම ගැනීමේ තත්ත්වය ඇති කරලා, මේ රටේ ජනතාවට තමන්ට අභිමත පාලනයක් ඇති කර ගැනීමට අවස්ථාව සලසා දීමට. ඒ නිසා දේශපාලන පක්ෂවල නායකයන්, වැඩ කරන ජනතාවගේ නායකයන් හැටියට අපට බැහැ විවේචනය පමණක් කරමින් ඉන්න. විවේචනය සමඟ අපි විසඳුම් ද ඉදිරිපත් කළ යුතුයි. සතුරු බලමුළු පැරදවීම වගේම එමගින් ඇති වන රික්තකය නිවැරදි උපායමාර්ගික කියැවීමක් ඇතුලේ පුරවන්න අපට පුළුවන්කම තිබෙන්න ඕනේ.

අපි විශ්වාස කරනවා, රටේ මහජන මතය නොසලකා ආපු පාලනතන්ත්‍රය පොඩි පොඩි රෙපෙයාර් කරලා තියාගන්න බැහැ කියලා. එවැනි රෙපෙයාර් මේ රටේ මහජනතාව පිළිගන්නේ නැහැ. ඒ නිසා එම පාලනතන්ත්‍රය පරිපූර්ණව ඉවත් කළ යුතුයි. ඒ වගේම මේ රටේ ප්‍රගතිශීලී දෑහිතකාමී දේශපාලන බලවේගවල එකමුතුවෙන් ගොඩනැගෙන සර්වපාක්ෂික, අන්තර්කාලීන පාලනයකට අප යා යුතුයි. ඒක නොවෙයිද උත්තරය? මේ මොහොතේ ඡන්දයකට යාමට තිබෙන බාධාවන් අපි මෙතැන සාකච්ඡා කළා. අපට වැරදි දේ ඉවත දමා, නිවැරදි දෙය ගෙන ඒමට ද හැකියාව තිබිය යුතුයි.

අපේ පක්ෂ එකමුතුව හැමවිටම කටයුතු කරන්නේ මේ රට අස්ථාවර, අරාජක කිරීමේ න්‍යාය පත්‍රයකට නොවෙයි. ඒ නිසා තමයි අපි නැවත ජනාධිපතිවරයාට බලකොට කියා සිටින්නේ ‘බොරු රෙපෙයාර් නොවෙයි, ජනතාවගේ පිළිකුලට භාජනය වූ පාලනතන්ත්‍රය ගෙඩිය පිටින් ඉවත් කරන්න. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත අන්තර්කාලීන පාලනයක් පිහිටුවාලීම සඳහා ඉඩකඩ සලසා දෙන්න’ කියා. ඒ වගේම අපි වෘත්තීය සමිති නායකයන් වෙතින් ඉල්ලනවා, මේ මොහොතේ සමාජය අස්ථාවර කිරීමට එරෙහිව සමාජයට මඟ පෙන්වීමේ ධජය අතට ගන්න කියා”

ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී, වීරසිංහ, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, යුතුකම සංවාද කවය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු සහ විජයධරණී ජාතික සභාවේ පූජ්‍ය අතුරලියේ රතන හිමි එම දේශපාලන පක්ෂ 11 වෙනුවෙන් ඉහත සාකච්ඡාවට සහභාගි වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස