ගෙදර ඉන්නත් බය පාරේ යන්නත් බය ජනාධිපති කෙනෙකුට රට පාලනය කරන්න බෑ..! – අනුර…

April 4, 2022 at 10:39 am | by emanisa.lk

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද ගෙදර ඉන්නත් බෑ. පාරෙ යන්නත් බෑ. මෙහෙම හැංගිලා රටක් පාලනය කළ හැකිදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ (03දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය.

දිසානායක මහතා පැවැසුවේ මේ මොහොතේ ජනතාවගේ කෝපය ඉතාම සාධාරණ බවත් ආණ්ඩුවට විරුද්ධව විරෝධතා දැක්වීම ඉතාම සාධාරණ බවය.

ජවිපෙ නායකයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.

“ආණ්ඩුව තමන්ගේ සුපුරුදු මර්දනය දියත් කරමින් ඉන්නවා. මේ වෙද්දි අපේ රටේ පොදු ජනතාව සෑම තරාතිරමකම භේදයකින් තොරව ආණ්ඩුව විසින් ඇති කරන පීඩනයට ගොදුරු වෙලා තිබෙනවා. තම විරෝධය, කෝපය, වේදනාව ජනතාව විවිධාකාරයෙන් ප්‍රකාශය කරමින් තිබෙනවා. එදා පැය දෙකක විදුලි කප්පාදුව අද පැය 12, 13 දක්වා වැඩිවෙලා තිබෙනවා. තෙල්, ගෑස් මිල ඉතා ඉහළ ගොස් තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ නැහැ. ඒ අතර ආණ්ඩුව තමන්ගේ පුරාජේරුව තවම නවත්වා නෑ. ජනතාව ස්වේච්ඡාවෙන් උද්ඝෝෂණවලට සම්බන්ධ වී තිබෙනවා. ඒක පුදුමයක් නොවෙයි. උද්ඝෝෂණවලට ජනතාව මැදිහත් වීම ඉතා සාධාරණයි. දරුවන් පවා වඩාගෙන උද්ඝෝෂණවලට සහභාගි වන ජනතාවක් රටේ ඉන්නෙ. ඒ තරමටම රටේ අර්බුදය උත්සන්නයි.

ආණ්ඩුව මිරිහානේ උද්ඝෝෂණයට පහර එල්ල කළා. එහි ආවරණය සිදුකළ මාධ්‍යවේදීන්ට ගැහුවා. මාධ්‍යවේදීන්ට, මිනිස්සුන්ට තුවාල කළා. මාධ්‍ය උපකරණ කඩා දැම්මා.

මෙවැනි තත්ත්වයක ජනතා කෝපය තව තවත් උත්සන්න වෙමින් තිබෙනවා. නීති, අණපනත්වලින් ජනතාව මර්දනය කරන්න හදනවා.

ජනාධිපති පසුගිය පළමුවැනිදා හදිසි නීතිය කැඳෙව්වා. ඒ රටේ ආරක්ෂාවට නොවෙයි. ඔවුන්ගේ ආරක්ෂාවට. ඕනෑම නීතියක් පනවන්න, ඕනෑම නීතියක් ක්‍රියාත්මක කරන්න ජනාධිපතිට මෙමඟින් බලය ලැබෙනවා. ඒ අනුව තමයි ආණ්ඩුව පෙරේදා ඇඳිරි නීතිය පැනෙව්වෙ. ජනතාවගේ මතය යටපත් කරන්න කරන මේ බියගුලු ක්‍රියාවලට මිනිස්සු යටවෙන්නෙ නෑ. පෙරේදා රටේ හමුදා ඛණ්ඩ හා රථ විශාල ප්‍රමාණයක් කොළඹට කැඳෙව්වා. මේක නන්දිකඩාල්ද? මෙයින් පෙන්නුම් කරන්නේ ගෝඨාභය ඇතුළු මේ ආණ්ඩුව ජනතාවට ප්‍රතිචාර දක්වන හැටි. ජන ජීවිත ආරක්ෂා කරන්න මේ ආණ්ඩුවට බෑ. මිරිහාන විශාල පහරදීමක් සිදුකළා. සමාජ මාධ්‍ය ජාලා අවහිර කළා. තරුණයෙක් පැහැරගත්තා. අත්අඩංගුවට ගත්තා. ඇඳිරි නීති පැනෙව්වා. හදිසි අවස්ථා මත මුළුමනින්ම මර්දනය උපකරණයක් කරගත්තා. අපි රට පුරා උද්ඝෝෂණ ක්‍රියාවලියක් පවත්වනවා මීට විරුද්ධව. මහජන අදහස් සාමකාමීව දක්වා විරෝධය පළ කරන්න ජනතාවට අයිතිය තිබෙනවා. වහාම මේ හදිසි නීති අකුළා ගන්න. අපි ඒ වෙනුවෙන් උද්ඝෝෂණ කරනවා. හදිසි නීතිය එක් දිනක් හෝ පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඉඩ තැබිය යුතු නැහැ. මේ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා නොදිය යුතුයි.

මේ වෙද්දිත් වාරියපොළ අපේ සහෝදරයෝ අටක් වගේම කුරුණෑගල නාමල් කරුණාරත්න සහෝදරයාගේ රියැදුරාත්, වාහනයත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොළොන්නරුව සහෝදරයකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට අරන් කිසිම බියවැද්දීමක් කරන්න ආණ්ඩුවට බැහැ. හදිසි නීතිය පනවා ගෝඨාභයගේ හිතලු ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. පේරාදෙණි විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාර, බැටන් ප්‍රහාර එල්ල කළා. ඒ වගේම සනත් නිශාන්තගේ සොහොයුරා අපේ අජිත් ගිහාන් කියන සහෝදරයාගේ බිරිය, දරුවන්ට තර්ජනය කරලා තිබෙනවා. වාහන පොඩිපට්ටම් කරලා. නිවෙස ජනෙල්වලට පහර දීලා තිබෙනවා. මේවා කළේ කවුද කියා සාක්ෂි තිබියදී කිසිවෙක් අත්අඩංගුවට අරන් නෑ. ගෝඨාභය රාජපක්ෂගේ, සරත් වීරසේකරගේ අනුමැතිය මත තමයි මේ ප්‍රහාර එල්ල වෙන්නේ. මේ බියගුලු ක්‍රියාව වහාම නැවැත්විය යුතුයි. තමන් පත් කළ පාලකයා තමන් පීඩාවට පත් කරනවා නම් ඊට විරුද්ධ වීමට පුරවැසියාගේ අයිතිය තිබෙනවා.

එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න හා පිළිතුරු මෙසේය.

හදිසි නීතිය පාර්ලිමේන්තුවේ පරාජය කරන්න හැකියි කියා ඔබ සිතනවාද?

බලමු, තමන්ගෙ පළාතේ මන්ත්‍රි දැන දැන ජනතාව මර්දනයට ගේන හදිසි නීතියට අත උස්සනවාද නැද්ද කියලා ඔවුන්ගේ ක්‍රියාවලින් තුළින් බලාගන්න පුළුවන්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මේ මොහොතේ පුළුවන් ආණ්ඩුවට එරෙහිව බහුතරය අත ඔසවනවා නම්. අද ජනාධිපතිට ගෙදර යන්න කියලා ජනතාව කියනවා. ඔහුට ගෙදර ඉන්න බැරි නම් පාරේ යන්නත් බැරි නම් කොහොමද සැඟවිලා රටක් පාලනය කරන්නෙ? ඔහුගේ ඇතැම් රාජකාරිත් අත්හිටුවීමට සිදු වෙලා තිබෙනවා මේ ජනතා කෝපය මත. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමීව තම විරෝධතා ගෙන යා යුතුයි. මීට පෙර මම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ජාලිය වික්‍රමසූරිය කියන්නේ වංචනිකයෙක් කියලා. ඒ වගේම බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු බොහෝ දෙනෙක්ගේ වංචා, දූෂණ හෙළි කළා. ආණ්ඩුව තමන්ගේ ඥාතීන්ට හිතමිතුරන්ට හොරාකන්න ඉඩ දීලා තිබෙනවා. ආර්ථික ප්‍රශ්න පමණක් නොවෙයි. මෙම දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒමටත් පියවර ගත යුතුයි.

ආණ්ඩුවේ ඇමැතිලාගේ ගැලවීමකුත් තිබෙනවා නේද?

සියලු බලය පවුලට, එකම පවුලකට කේන්ද්‍ර ගත වෙලා. ඇමැතිලා ඒ කෙනෙහිලිකම් දරාගෙන මෙච්චර කල් නිවටුන් වගේ හිටියා. මහජන විරෝධයෙන් පස්සෙ ඒ ඇමැතිලා අළු ගසා දාලා එනවා. රාජපක්ෂ ගිලටීනය යටතේ හිටි අය අද අයින් වෙනවා. මෙච්චර කල් නිදාගෙනද හිටියේ. ඇයි රාජපක්ෂලා හොරු කියලා දන්නේ නැද්ද. නාමල් රාජපක්ෂ කිය කිය ඉන්න ඕනෑ නෑනෙ. අයින් වෙලා පෙන්නන්නකො. මේක එකම නාටකයක්.

සභාග ආණ්ඩුවක් ගැන මතයක් තිබෙනවා?

මේ ජනාධිපති එක්ක මොන සභාග ආණ්ඩුවක්ද. මේක මිනිස්සුන්ගේ මතය, විරෝධය යට කරන්න ගහපු අටමගලයක්.

– අනුරාධා හේරත්

ඡායාරූප – වෙනුර චන්ද්‍රමාලිත (මව්බිම)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස