අධිකරණ අපහාස චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ලබා දී තිබෙන සිව් අවුරුදු සිරදඬුවම නීතියට අනුකූල සාධාරණ හෝ යුක්ති සහගත දඬුවමක් ලෙස සැලකිය නොහැකිය.
ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කල්පනා කරන ස්වභාවයේ තරම ඉන් පෙන්නුම් කරයි. අධිකරණයට අපහාසයක් ඇති කරන ආකාරයේ විවේචනයන්ට පවා නූතනවාදී ලෙස සිතන අධිකරණ දඬුවම් කරන්නේ නැත. වර්තමානයේ දඬුවම් කළ යුතු අපහාස ලෙස සලකන්නේ අධිකරණ නියෝගයක් හෝ තීන්දුවක් ක්‍රියාවට නැගීම නීතියට පටහැනිව වළකන ක්‍රියාකාරකම්වලට ය.
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් අධිකරණ අපහාස විෂය නියාමනය කරන අණ පනත් ඇති කර ගෙන ඇතත් එම විෂයේදී ලංකාව ඉන්නේ අඳුරු සහගත තත්ත්වයකය. එය අපේ රටේ පාර්ලිමේන්තුවේ අකර්යක්ෂමතාව පෙන්නුම් කෙරෙන තවත් නිදර්ශනයක් ලෙසද සැලකිය හැකිය.
අඩුම වශයෙන් එස්.බී.දිසානායකට හා ටෝනි එමෑනුවෙල් ප්‍රනාන්දුට දඩුවම ලබා දීමෙන් පසුව වත් මේ විෂයේදී අධිකරණය බුක්ති විඳින හිතුවක්කාර බලය නියාමනය කිරීම සඳහා පාර්ලිමේන්තුව සුදුසු නීති ඇති කළ යුතුව තිබුණි. ටෝනි අධිකරණ සේවා කොමිසමේ සභාපති වශයෙන් අගවිනිසුරු සරත් සිලවා හා එම කොමිසමේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වගඋත්තරකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවේදී පෙත්සම්කරු පළ කළ විරෝධය නොසලකා අගවිසුරු ඇතුළත් විනිසුරු මඩුල්ලක් විසින් අධිකරණයට අපාහාස කිරීමේ චෝදනා යටතේ ටෝනිට එක් අවුරුදු සිර දඩුවමක් ලබා දෙන ලද අතර එය ජාත්‍යන්තර අවධානය දිනාගත් බිහිසුනු සිද්ධියක් විය.
රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය නිවැරදි නැතත්, ඒ සඳහා ලබාදී තිබෙන දඬුවම කිසි සේත්ම සාධාරණ නැත. අධිකරණය ඔහු සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ එන දර්ශනයට මුණමනින් පටහැනිය.
විකටර් අයිවන්