යුගදනවි දුන්නේ කැබිනට් අනුමැතිය ලත් සමාගමට නෙමෙයි…! යුගදනවි ගිවිසුම සභාගත කරමින් අනුර හෙළිකරයි…!

December 10, 2021 at 5:31 pm | by emanisa.lk

ආන්දෝලනයට තුඩු දී තිබෙන  කෙරවලපිටිය යුගදනවි ගිවිසුම අද (10) ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිය ද  එය ඉටු නොවුණ හෙයින් අද දින තමන් එම ගිවිසුම සභාගත කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

කැබිනට් පත්‍රිකාවෙන් අවසර ලබා දී ඇත්තේ  නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමඟ ගිවිසුම් ගතවීමට වුවද එම ගිවිසුම අත්සන් කර ඇත්තේ එන් එෆ් සී ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගමත් සමඟ බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ අනුව එම ගිවිසුම අත්සන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින් බලය දෙන ලද සමගම සමඟ නොවන බව අනුර දිසානායක මහතා කියා සිටියේය.

එම නිසා මෙය මුළුමණින්ම කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමක් බවට සඳහන් කළ හැකි බවයි ඔහු පැවසුවේ.

මෙහි 13 (1) වගන්තියේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා අවුරුදු දෙකක් යනතෙක් මේ ගිවිසුම දෙපාර්ශවය අතර එකඟතාවකින් තොරව රටට හෝ ජනතාවට ප්‍රකාශයට පත් නොකර සිටීමට. කථානායකතුමනි, එහෙම කරන්න පුළුවන්ද මේ රටේ දේපළ පිළිබඳව. මේ රටේ දේපොළ අයිතිව තිබෙන්නේ මේ රටේ මහජනයාට. කිසිම ආකාරයකින් රටේ දේපොළ මුදල් අමාත්‍යවරයාට හෝ එහි ලේකම් ආටිගල මහතා වෙත පවරලා නැහැ. ඒ නිසා මේ රටේ දේපළක් පිළිබඳ අත්සන් කරන ඕනෑම ගිවිසුමක් මේ රටේ ජනතාවට දැනගැනීම සඳහා පරම අයිතියක් තිබෙනවා. හැබැයි තමුන්නාන්සේ13(1) වගන්තියේ දානවා මේ ගිවිසුම සභාගත කළ හැකි වන්නේ,හෙළිදරව් කළ හැකි වන්නේ දෙපාර්ශවය එනම් ඇමරිකාවේ සමාගම එකඟවන්නේ නම්  පමණයි. මම අහන්නේ ඇයි එහෙම වගන්තියක් දාන්නේ.”

එපමණක් නොව මෙහි ඉදිරි ගිවිසුම් අත්සන කරන විට එන් එෆ් සී ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගමට ලැදියාවක් සහිතව අත්සන් කළ යුතු බවට එම ගිවිසුමේ දක්වා ඇති බවද අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එම නිසා මෙම ගිවිසුම සඟවා ගෙන සිටීමේ හේතුව පැහැදිලි බව හෙතෙම කියා සිටියේය. 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස