යහපාලන ආණ්ඩුව ඇමරිකානු කොරිඩො හදන්න හැදූ රටේ අපි අපනයන කොරිඩෝ හදනවා…! – මහින්ද

February 28, 2021 at 10:50 pm | by emanisa.lk

2019 වසරේ මිලියන 63,000 පැවති අපනයන කෘෂි භෝග ආදායම වසරක් තුළ රුපියල් මිලියන 73,000 දක්වා වර්ධනය කිරීමට හැකි වී ඇතැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ පැවැති අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහනට අද (27) එකතු වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

“මට මතකයි මේ ආණ්ඩුව පත්වෙලා නව කැබිනෙට්ටුව දිවුරුම් දීපු වෙලාව. රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ විෂය පථයට අයිති නම් කියනකොට සමහරු හිනා වුණා. ටික දවසක් යනකල් දයාසිරි ජයසේකරට කිව්වේ බතික් ඇමති කියලා. ප්‍රසන්න රණවීරට මැටි ඇමති කිව්වා. සමහර ඇමතිවරු මේ නම දැකලා අමාත්‍යාංශ භාරගැනීම අදිමදි කළා.

අපි මේ විදියට බුලත්, කජු, බඩඉරිඟු ආදි වශයෙන් අමාත්‍යාංශයට අයිති කුඩා දේවල්පවා නම් කළේ, මේ දේවල්වලට විශාල අවධානයක් ලබාදෙන්න. දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට ගොඩනගලා අපනයන මුලික කරගෙන ආර්ථික ක්‍රමයක් හඳුන්වා දෙන්න.

මෑතක් වන තුරු අඹ, පේර, කජු හා සියඹලා පවා පිටරටින් ගෙනාවා. ඉදල් කොහු විතරක් නෙමෙයි කැටපෝලත් ගෙන්නුවා. එහෙම කළාම මේ රටේ විදේශ විනිමය රටට අහිමි වුණා විතරක් නෙමෙයි රටේ ජනතාව උපන්ගෙයි බෝඩින්කාරයෝ වුණා.

අපේ රටේ නිෂ්පාදනයන් කරන්නේ නැති වෙනකොට මේ රටේ රැකියා උපදින්නෙත් නැහැ. රස්සා හොයාගෙන පිටරට යන්න වෙනවා. ඊළඟට ඒ විදේශගත වෙලා ඉන්න අය ලංකාවට එවන මුදල් වලට වුණේ මොකද්ද. විදේශගත වෙලා ඉන්න අය එවන සල්ලි විදේශවලින් ගෙන්වන බඩු ගන්න වියදම් කරනවා. ඒ සල්ලි ටිකත් ඇදෙන්නේ පිටරටට.

අපේ ජනතාව මනසින් මොනතරම් වහලුන් කළා ද කිව්වොත් මේ රටට අඹ, කජු, අන්නාසි, පේර,ඉරටු, කැටපෝල ගේනවට නෙමෙයි හිනා වුණේ. කජු වවනවට සියඹලා වවනවට ඒවා වෙනුවෙන් අමාත්‍යංශයක් වෙන් කරන එකට තමයි මේ රටේ අය හිනාවෙන්න පටන් ගත්තේ. නමුත් මතක තියාගන්න ඕන අපේ රටට අපේ ප්‍රතිපත්තියේ ඵලය දැන් ලැබෙමින් තිබෙනවා.

කහ ආනයනය කරන්න රුපියල් මිලියන 1000ක් (දාහක්) අපි වාර්ෂිකව වැය කළා. අපි කහ වසරක් ආනයනය කරන්නේ නැතුව ගොවියාට කහ වවාගන්න ඉඩදීලා තිබුණා. කහ රටින් ගෙන්වන්නේ නැහැ වෙළෙඳපොළේ කහ හිඟයි කියලා , දැවැන්ත විරෝධයක් මේ රටේ ඇති කළා. නමුත් අපි ඉවසගෙන ඒ විරෝධයන්ට මුහුණදීලා හොරෙන් ගේන කහවත් වෙළඳපොළට දාන්නේ නැතුව අපේ බිමේ කහ උපදිනකන් අපි වැඩ කළා. අද වෙනකොට කහවලට පිටරටට ඇදෙන රුපියල් මිලියන 1000ක් (දාහක්) මේ රටට ඉතුරු වෙනවා.

ඒ විතරක් නොවෙයි 2019 රුපියල් මිලියන 63000ක් (හැටතුන් දහසක්) වෙලා තිබුණ අපනයන කෘෂි භෝග ආදායම අවුරුද්දක් තුළ රුපියල් මිලියන 73000 (හැත්තෑතුන් දහස) දක්වා වර්ධනය කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අද වන විට තේ, පොල්, රබර් මත යැපුනු ලංකාවේ ආර්ථිකයට නව ජවයක් ලබාදෙන්න අපිට පුළුවන් වෙලා තිබෙනවා.

එදා අපිට මේ රටේ ජනතාවට රැකියා දෙන්න නම් විදේශ ආයෝජකයින්ට වඳින්න සිද්ධ වුණා. විදේශ ආයෝජකයෝ ලංකාවට එනකම් බලාගෙන ඉන්න සිදුවුණා. ඒ අය මේ රටේ කර්මාන්තශාලා ආරම්භ කරලා රැකියා දුන්නත් ඒ රැකියා වලින් උපදින ආදායමත් ගියේ විදේශ වලට. ඒකට හේතු වුණේ අපිට වවාගන්න පුළුවන් හදාගන්න පුළුවන් සියලු දේ පිටරටින් ගෙනාවම රැකියාවෙන් උපයන ආදායමත් ඒවා මිලදී ගන්නකොට විදේශවලට ඇදිලා ගියා. ඒ තත්ත්වය තමයි අපි දැන් වෙනස් කරගෙන යන්නේ. අපි අලුත් දේ හදන්න ඕනෑ.

ඒ නිසා දැන් අපි අපේ කුළු බඩුවලට අමතරව අළුත් අපනයන නිෂ්පාදනයක් හඳුනාගෙන තියෙනවා. ඒ TJC අඹ, TJC අඹ කියන්නේ අපේ රටේ අපේම නිෂ්පාදනයක්. මේ අඹ අපනයනය සදහාම සකස් කරපු වියළි කලාපයට ඉතාම උචිත ඉහල ආදයමක් ලබා ගන්න පුළුවන් භෝගයක්.

ඔබේ ප්‍රදේශයට TJC අඹ පැළ 100,000ක (ලක්ෂයක) අඹ කලාපයක් අද දවසේ නිර්මාණය වෙනවා. ඔබේ වත්තට පැළ 25 ක් ලබා දෙමින් පවුලේ අර්ථිකය ශක්තිමත් කරන්නත් එතුළින් රටේ ජාතික ධනය නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එවගේම කජු පැල ලක්ෂයක් සිටුවා කජු කොරිඩෝවක් අපි හදනව. එදා හදන්න හැදුවේ ඇමෙරිකාවේ ආර්ථික කොරිඩෝවක්. ඒ වෙනුවට අපි හදන්නේ අපේම අපනයන කොරිඩෝවක්.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස