රටේ ඉදිකිරීම් දේශීය සමාගම් සඳහා පමණයි! චීන ඉන්දියානු සමාගම්වල ජනපති අණින් දොර වැසේ!

December 23, 2019 at 10:15 pm | by emanisa.lk

මෙරට රාජ්‍ය ඉදිකිරීම් ව්‍යාපෘති විදේශීය කොන්ත්‍රාත්කරුවන් ලබා නොදී දේශීය සමාගම් සඳහා ලබාදෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

දේශීය ඉදිකිරීම් සමාගම් දිරිගැන්වීම සඳහා ගත් මෙම පියවර මගින් දේශීය ඉදිකිරීම් සමාගම්වල ලාභය ඉහළ නැංවිය හැකි අතර සමස්තයක් ලෙස රාජ්‍ය ප්‍රසම්පාදන පිරිවැය ඉහළ නැංවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

මේ වන විටත් දේශීය ඉදිකිරීම් සමාගම් සඳහා ආදායම් බදු 28% සිට 14% දක්වා අඩුකර ඇති අතර, නිවාස ව්‍යාපෘතිවලින් අගය එකතු කළ බද්දද ඉවත් කර ඇත.

කුඩා හා මධ්‍යම උප කොන්ත්‍රාත් සමාගම්වලට නීති සම්පාදනය තුළින් සුරක්ෂිත ව්‍යාපාරික අවස්ථා ලබා දීමටද ජනපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

සියලු අනුමත කිරීම් සේවා අන්තර්ජාලය හරහා එක් ස්ථානයකින් ලබා ගත හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමෙන් ගොඩනැගිලි ඉදිකිරීම් අනුමත කිරීම් කාලය සති 3 දක්වා අඩු කෙරෙන අතර නාගරික ඉදිකිරීම් සඳහා පවත්නා නාගරික සංවර්ධන සැලසුම් අනුගමනය කළ යුතුය.

ඉදිකිරීම් සමාගම් විසින් ගනු ලැබූ අතීත ණය සඳහා සහන කාල සීමාවක් සහ නැවත සාකච්ඡා කිරීමට ඉඩ ලබාදීමට නව රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ.

මහ බැංකුව හරහා ඉදිකිරීම් සමාගම් සහ බැංකු අතර සබඳතා කළමනාකරණය කිරීම සඳහා නව පද්ධතියක් සකස් කෙරේ. ඉදිකිරීම් සඳහා අමුද්‍රව්‍ය මිලදීගැනීම සඳහා දැනට පවතින බලපත්‍ර සංශෝධනය කිරීමටද නව රජය තීරණය කර තිබේ.

ඉදිකිරීම් සමාගම්වලට උපදේශන ආධාර ලබාගැනීම සඳහා රජය ඉංජිනේරුවන්ගේ හා තාක්‍ෂණ විද්‍යාඥයන්ගේ උපදේශක කමිටුවක් පත්කරනු ඇති අතර කර්මාන්තය, ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සංගමය, ඉංජිනේරු ආයතනය සහ විශ්ව විද්‍යාල අතර සහයෝගීතාව වර්ධනය කිරීමට උපකාරී වන බව ද ජනපතිවරයා පවසයි.

රජයේ ප්‍රතිපත්ති ලේඛනය මඟින් කුටුම්භ ආදායම මත පදනම්ව පහසු ගෙවීම් සැලසුම් මගින් අවශ්‍යතා ඇති අයට නිවාස ලබා දීමට අපේක්ෂා කරයි. ඉදිකිරීම් සමාගම් සඳහා සාධාරණ මිල ගණන් යටතේ නිවාස ඉදිකිරීම් සඳහා ඉඩම් ලබාදෙනු ඇත.

රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව වැඩසටහනක් යටතේ දිවයින පුරා විශේෂ නිවාස ව්‍යාපෘති ආරම්භ කරන අතර නිවාස සඳහා ඉඩම් සීමිත ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රදේශවල නිවාස යෝජනා ක්‍රමද ආරම්භ කෙරේ.

මේ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් ත්‍රිවිධ හමුදාවේ සහ යුද වැන්දඹුවන්, පොලිස් නිලධාරීන්, අවතැන්වූවන් සහ පැල්පත්වල ජීවත් වන අය සඳහා නිවාස ලබාදෙනු ඇත.

නිවාස සඳහා පමණක් ණය ලබාදෙන බැංකු සහ පෞද්ගලික ආයතන එක් බැංකුවකට ඒකාබද්ධ කරන අතර එමඟින් අඩු පොලී ණය ලබාදෙනු ඇත.

ශ්‍රම හිඟයකට මුහුණ දී සිටින ඉදිකිරීම් කර්මාන්තයේ යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන් පුහුණුකිරීම සඳහා රජය පහසුකම් සලසනු ඇත.

ඉදිකිරීම් කටයුතුවලදී තාක්ෂණික හෝ තාක්‍ෂණය හා සම්බන්ධ රැකියා ලබාගැනීම සඳහා තරුණ තරුණියන් පුහුණු කරනු ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස