මෘතදේහ අවසන් කටයුතු පෙර චක්‍ර ලේඛයට දිගට ම! කරාපිටිය දේහයත් ආදාහනය කරන්න! – සෞඛ්‍ය අධ්‍යක්ෂ…

December 23, 2020 at 4:21 pm | by emanisa.lk

කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මියගිය ගාල්ල දෙද්දුගොඩ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ අවසන් කටයුතු, කොවිඩ් – 19 මෘත දේහ සම්බන්ධයෙන් මින් ඉහත නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කරන ලෙසත්, එම උපදෙස් පිළිබඳව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය දැනුම්වත් කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න විසින් ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට අද (23) ලිඛිතව දැනුම් දී තිබේ.

පසුගිය 19 වනදා සිදුවූ මෙම මරණය කොරෝනා ආසාදිත මරණයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය සැලකිල්ලට ගත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ එම සිරුර ආදාහනය කිරීමට පසුගිය 20 වනදා නියෝග කළේ ය.

මේ අවස්ථාවේ දී මියගිය තැනැත්තාගේ පුතකු දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් ආදාහනය කිරීමට විරෝධය දක්වා භූමදාන කරන්නේ නම් පමණක් දේහය භාරගැනීමට කටයුතු කරන බව දන්වා තිබිණි.

ඊට පසු හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ලබාදුන් එම නියෝගය ක්‍රියාත්මක නොකළ පොලිසිය පසු දා (21) මියගිය පුද්ගලයාගේ ඥාතීන් සමඟ ගොස් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. ගාල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය මෙම පැමිණිල්ල මෙහෙයවා තිබිණි.

පොලිසිය හා ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු දක්වා උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස