මෘතදේහවලින් කොරෝනා පැතිරෙන බවට සාක්ෂි නෑ..! ශ්වසනයෙන් මිස ආමාශ මාර්ගයෙන් බෝ වෙලත් නෑ..! භූමදානයෙන් සෞඛ්‍ය අවදානමක් නෑ..! – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

January 2, 2021 at 9:55 pm | by emanisa.lk

දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මළ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොවිඩ් ආසාදිත මළ සිරුරුවල අවසන් කටයුතු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ නිකුත් කර තිබුණි.

එහි සඳහන් වන්නේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා සියලු ක්ෂේත්‍රවල වෛද්‍ය විශේෂඥයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි මත කරුණු කිහිපයක් නිරීක්ෂණය කළ බවය.

එම කරුණු පහත පරිදි වෙයි.

1. කොවිඩ් ආසාදනය සිදුවන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් බවත් ආමාශ ආන්ත්‍රික ද්වාරය ඇතුළුව වෙනත් මාර්ග හරහා එය ආසාදනය වූ බවට වාර්තා වී නැත.

2. වෛරසය වර්ධනය විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් මළ සිරුරක් තුළ ආසාදිත තත්ත්වයෙන් එය සැලකිය යුතු කාලයක් සඳහා පැවතිය නොහැකි ය.

3. පශ්චාත් මරණ පරීක්ෂණයක දී සිදුකළ PCR ප්‍රතිඵල ධනාත්මක වුව ද මළ සිරුරෙන් වෛරසය ව්‍යාප්ත වන බවට නිශ්චිත අදහසක් නැත.

4. භූමදාන කළ මළ සිරුරුවලින් ඇති විය හැකි ජල දූෂණයට වඩා ආසාදිත රෝගීන්ගේ බහිස්‍රාවීය ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය මගින් වඩාත් දරුණු ලෙස ජලය දූෂණය විය හැකි ය.

5. භූගත ජලයේ මෙම වෛරස් අංශු හමු වූ බව වාර්තා වුවත් එමගින් වෛරස ආසාදිත තත්ත්වයේ ඇති බවට වාර්තා වී නැත. මින් පෙර වාර්තා වූ ඉන්ෆ්ලුවෙන්සා සහ SARS වැනි වෛරස් සම්බන්ධයෙන් කළ ගැඹුරු අධ්‍යයනවල දී පවා එවැනි ආසාදන පිළිබඳ වාර්තා නොමැත.

6. ඩෙන්මාර්කයේ ඝාතනය කර භූමදානය කළ මුගටි නැවත ගොඩගෙන ඇත්තේ කොරෝනා වෛරසය ජල මූලාශ්‍රවලට එකතු වීම නිසා නොව, දිරාපත් වන මුගටින්ගේ මළ සිරුරුවලින් නයිට්‍රජනීය අපද්‍රව්‍ය පරිසරයට සහ ජලයට එක්ව එම මුලාශ්‍ර දූෂණය විම නිසා ය.

7. ජලය ආශ්‍රිතව බෝවන කොළරාව වැනි දරුණු රෝගවල දී පවා මළ සිරුරු භූමදානය කෙරේ.

ඒ අනුව මෙම විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මළ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සිය නිවේදනයෙන් පවසයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස