මහින්ද දැන්වීම් දාලා රූපවාහිනියට මි.102ක් පාඩු කළ කතාව බොරුවක්! එජාප ජවිපෙ බලපෑම් මත කූට ලේඛන හැදුවේ මං! – වසර 05කට පසු රූපවාහිනි අධ්‍යක්ෂ දළුවත්ත හෙළි කරයි….

July 23, 2020 at 9:20 am | by emanisa.lk

2015 ජනපතිවරණය සමයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් පළ කරමින් රූපවාහිනී සංස්ථාවට රුපියල් මිලියන 102කට අධික පාඩුවක් සිදු කර ඇතැයි යන චෝදනාව මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නඩු පැවරුවේ තමා සකසා දුන් ව්‍යාජ ලේඛන භාවිත කරමින් බව එම සංස්ථාවේ හිටපු අලෙවි අධ්‍යක්ෂ සනත් දළුවත්ත දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (22) පැවසීය.

එම ව්‍යාජ ලේඛන සකසා දෙන්නැයි අල්ලස් කොමිසමේ නිලධාරින් තමන්ට බලපෑම් කළ බවත් ජාතික සේවක සංගමය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සේවක සමාගම්වල කීමට වැඩකළ හිටපු සභාපති රවි ජයවර්ධන මහතා සහ නැසී ගිය එජාප ඇමැතිවරයකු වූ විජේපාල මෙන්ඩිස්ගේ බෑනා වන නැසීගිය සිරිමල්වත්ත යන අය තමන්ට දේශපාලන බලපෑම් කළ බවත් පැවසූ ඔහු දැන්වීම් ප්‍රචාරය කර සියලු මුදල් ගෙවා මාස තුනකට පසුව මෙම ලේඛන අල්ලස් කොමිසම තමන්ගෙන් ගත් බවත් හෙතෙම හෙළි කළේය.

ජනාධිපති රාජපක්ෂගේ මැතිවරණ ප්‍රවර්ධන දැන්වීම්වලින් රූපවාහිනී සංස්ථාවට පාඩුවක් වූ බවට හෝ හිඟ ණය මුදලක් අය විය යුතු බවට කිසිදු විගණන වාර්තාවක ඇතුළත් නොවූ බව ද සංස්ථාවේ වාර්ෂික ගිණුම් වාර්තාවල එවන් ණය මුදලක් අය විය යුතු බවට හෝ හිඟ තබා පාඩු කර ඇති බවට සඳහන් නොවන බව ද දළුවත්ත අදාළ වාර්ෂික ගිණුම් වාර්තා කොමිසමට ඉදිරිපත් කරමින් පැවසීය.

රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම්, ‘මීඩියා පැක්ට්‍රි’ දැන්වීම් අලෙවි සමාගම මගින් අලෙවි ප්‍රවර්ධන නිලධාරියකු විසින් රූපවාහිනි සංස්ථාවට රැගෙන පැමිණි බවත්, එම දැන්වීම් සමාගම හා සංස්ථා සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය මත මිල නියම කළ බවත් පැවසූ දළුවත්ත මහතා එම වකවානුවේ රූපවාහිනි ආයතනය ලබා සිටි ජනප්‍රියතා‍ෙ (රේටින්) මත මිල තීරණය වූ බවත් ප්‍රකාශ කළේය.

මීඩියා ප්‍රැක්ට්‍රි දැන්වීම් ආයතනය හා රූපවාහිනි සංස්ථා දෙපාර්ශ්වය අතර ඇති කර ගත් එකඟතාව මත මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සඳහා රුපියල් මිලියන හතළිස් හතරයි පන්ලක්ෂ දොළොස් දහස් හත්සිය හතරක මුදලක් හා රුපියල් මිලියන 3.2ක මුදලක් මීඩියා පැක්ට්‍රි ආයතනය සංස්ථාවට ගෙවා ඇති බව පෙන්වා දුන් අලෙවි අධ්‍යක්ෂවරයා එම දැන්වීම්වලට රුපියල් මිලියන 144කට අධික මුදලක් හිමි විය යුතු බවට ලේඛන සකසා දුන්නේ තමන් බවත්, එම ලේඛන අල්ලස් කොමිසමේ බලපෑම පරිදි ලබා දුන් බවත් වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස