මහා සම්පත් හානියකට ජනපති තිත තබයි! පාර කඩා ජල නළ එලන යුගය හමාරයි! ජල සම්පදන සහ මාර්ග සංවර්ධන ඒකාබද්ධ සැලසුම්!

September 4, 2020 at 4:21 pm | by emanisa.lk

2025 වසර අවසන්වීමට පෙර සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ව තිබේ.

ඒ ග‍්‍රාමීය හා ප‍්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

ගංගා, ඇළ දොළ සහ ජල පෝෂක ප‍්‍රදේශ පිරිසිදු කොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන කඩිනම් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

ඉදිරි වසර 04 තුළ පවුල් ලක්ෂ 47 කට ජලය සැපයීම රජයේ අපේක්ෂාවයි. දේශීය සහ විදේශීය අරමුදලින් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ජල නළ කිලෝ මීටර් 40,000ක් අලූතින් එළීමට සිදු වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ දක්වා ජල සම්පාදනයට වැය වූ පිරිවැයෙන් හරි අඩකින් ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කෙරෙයි.

එම සාකච්ඡාවට එක්වූ නිලධාරීන් ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේ ජලය ආරක්ෂා කිරිමේ පියවරක් ලෙස ජලය කාන්දුවන ස්ථාන හඳුනාගෙන අලුතින් ජල නළ එළීම මේ වනවිට සිදු කරමින් පවතින බවයි. ප‍්‍රජා ජල ව්‍යාපෘති සේවක ගැටළු විසඳීම සම්බන්ධයෙන් ද එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුවී තිබේ.

ජල නළ එළිමේදී මාර්ගවලට වන හානිය සහ එමගින් ජාතික ධනය විනාශවීම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව සංවර්ධන සැලසුම් ක‍්‍රියාත්මක කිරීමටයි එහිදී එකඟතාව පළ කර ඇත.

රටේ පානීය ජල අවශ්‍යතාව සපුරලීමට යන සමස්ත වියදමෙන් සියයට 30 ක් පමණ එමගින් ඉතිරි කර ගත හැකි බව අනාවරණය වී තිබේ.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීන් සහ ප‍්‍රජා ජල ව්‍යාපෘති නියෝජිතයින් එම සාකච්ඡාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස