ආණ්ඩුව අනුන්ගේ දරුවන්ට අන්තිම දින 30ත් උප්පැන්න හදයි! කොළඹ අනඳ විදුහලේ සත්මහල් බිල්ඩිමේ ඇත්ත කතාව මෙන්න!

October 18, 2019 at 8:14 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව 2016-2020 සමයේ ක්‍රියාවට නඟන බව සඳහන් කළ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ගොඩනැඟිලි 500ක් ඉදිකිරීමට සමගාමීව කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ගොඩනැඟිල්ලක් විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

කෙසේ වුවද මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කර ප්‍රතිපාදන වෙන්කර එහි මුල්ගල් තැබීම සිදුවූයේ 2015 ජනවාරි 01 වෙනිදා එවක ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙනි.

එහෙත් ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ගෝඨාභය රාජපක්ෂ එදා මුල්ගල තබන අවස්ථාවේ ඉදිකළ සමරු ඵලකය ද ගලවා අතුරුදන් කළ වර්තමාන ආණ්ඩුව එය වර්තමාන ආණ්ඩුව ආරම්භ කර අවසන් කළ තුන් කුළුඳුල් ව්‍යාපෘතියක් බවට සමරු ඵලකයක් සවි කර තිබේ.

එහි කිසිදු තැනක මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා මුල්ගල් තැබීම හෝ සැලසුම් කිරීම සඳහන් නොකර සිටීමට තරම් වර්තමාන පාලකයන් කුහක ලෙස කටයුතු කිරීම බොහෝ පාර්ශවවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

නෙළුම් පොකුණ රඟහල තැනීමේ දී එයට වසර ගණනාවකට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක තැබූ මුල්ගලක් ගලවා දැමුවේ යැයි අභූත චෝදනා කළ එවක විපක්ෂයේ සිටි වර්තමාන ආණ්ඩුවේ නායකයන් අද මේ ආකාරයට හැසිරීම ඉතාම පිළිකුල් සහගත බව බොහෝ පාර්ශව පෙන්වා දෙති. එය කීර්තිමත් ආනන්ද විදුහලේ ඉතිහාසයට ද කැළැලක් එක් කරන නීච ක්‍රියාවක් බව අප සමග ප්‍රකාශ කළේ ආදි ආනන්දියෙකි.

අනෙක් අතට මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් නොකර එහි බාහිර ඉදිකිරීම් පමණක් අවසන් කර හදිසියේ විවෘත කිරීම ද බොහෝ පාර්ශවවල අවධානයට ලක්ව තිබේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුලුන ද මේ ආකාරයටම ඉදිකිරීම් අවසන් නොකර විවෘත කළේ එමගින් පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහාය.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ආරම්භ කළ මෙම සත්මහල් ගොඩනැඟිල්ල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විවෘත කරනු දැකීමට අකමැති කුහක දේශපාලන අඳබාලයන් මෙවැනි කටයුතු කරමින් දේශපාලන වාසි ගැනීමට කටයුතු කළ ද එමගින් සිදුවන්නේ මධ්‍යස්ථ ජනතාවගේ ඡන්ද පොකුරු පිටින් ගෝඨාභය වෙත ආකර්ෂණය වීම බව නොකියාම බැරිය.

අනෙක් අතට එවක පැවති රාජපක්ෂ පාලනය මෙතෙක් තිබුණේ නම් මෙම සත්මහල් ප්‍රාසාදයේ ඉදිකිරීම් කටයුතු 2016 වන විට අවසන් කර එය මේ වන විට වසර ගණනක් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගැනීමට හොඳටම ඉඩකඩ තිබුණු බව බොහෝ දෙනා පවසති.

සිය ආයු කාලය අවසන් කිරීමට දින 30කට අඩු කාලයක් ඉතිරිව ඇති යහපාලන ආණ්ඩුවේ මේ නරි නාටක දකින විට යන යකා කොරහත් බිඳගෙන යනවා යැයි කියන උපහැරණය මතකයට නැඟෙන්නේ නිතැතිනි. මෙහි දැක්වෙන්නේ වර්තමාන ආණ්ඩුව ඉතිහාසෙන් මකා දැමීමට උත්සාහ කරන ගෝඨාභය භූමිකාව සනිටුහන් වූ දුර්ලභ ඡායාරූපයකි. එය ආනන්ද විද්‍යාලයේ සත්මහල් ප්‍රාසාදය සඳහා මුල්ගල තැබූ අවස්ථාවේ ගන්නා ලද්දකි.

ඉඳුනිල් වික්‍රමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස