මහා සංඝරත්නයේ ආයෝමය බලය ඉදිරියේ ආණ්ඩුව සැලෙයි! ජනාධිපතිවරණයට පෙර මිලේනියම් ගිවිසුමට නොයන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! ආණ්ඩුව අත්සන් කළත් රටට අහිතකර නම් අහෝසි කරන බව ගෝඨාගෙන් ප්‍රතිඥාවක්! උඩුදුම්බර කාශ්‍යප හිමි උපවාසය අත්හරී!

November 6, 2019 at 8:07 am | by emanisa.lk

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කළ පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් සිය උපවාසය අත්හරිනු ලැබූහ. ඒ සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ විසින් එවනු ලැබු ලිපි දෙකක සඳහන් කරුණු අනුවය.

අමෙරිකාව සමග අත්සන් කිරිමට යෝජිත ගිවිසුම කිසි විටකත් ජනාධිපතිවරණයට පෙර අත්සන් නොතබන බවට ආණ්ඩුව තීරණය කර ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ලිපියක් මගින් කාශ්‍යප හිමි වෙත දැනුම් දී ඇත.

ජනාධිපතිවරණයෙන් පසුව එම ගිවිසුම අත්සන් තබන්නේ නම් එය සිදුකරන්නේ පාර්ලිමේන්තුවේදි හා ඉන් පිටතදි සිදුකරන සංවාදයකින් පසුව මහා සංඝරත්නය සමග සාකච්ඡා කර බවත් රටට එරෙහි කිසිදු ගිවිසුමකට තමා අත්සන් නොකකරන බවත් එහි සඳහන් වෙයි‍.

මේ අතර මාරාන්තික උපවාසයේ නිරත කාශ්‍යප හිමියන් වෙත ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද ලිපියක් යොමු කර තිබිණි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන මොහොත දක්වා මෙම ආණ්ඩුව විසින් අත්සන් තබන ලද සියලුම ගිවිසුම් ජාතික ආරක්ෂාව, ස්වෛරීයභාවය සහ ජාතික අවශ්‍යතාවන්ට යටත්ව නැවත සලකා බැලීමටත් ජාතික උවමනාවන්වලට පටහැනි නම් ඒවා අහෝසි කිරීමට කටයුතු කරන බව ගෝඨාභය රාජපක්ෂ සිය ලිපිය මගින් අවධාරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස