මම උතුරු නැඟෙනහිර ඉහළින්ම දිනවලා දුන්නා! සජිත් දකුණේ පරාද වුණාට මට බැනලා වැඩක් නෑ! – රනිල්

November 22, 2019 at 9:16 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණයෙන් පරාජය කිරීමට කටයුතු කළ බවට එල්ල වෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (22) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් සජිත් ප්‍රේමදාස නම් කිරීමෙන් පසු එම මැතිවරණ යාන්ත්‍රණය ඔවුන්ට භාර කළ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයට පැවරුන වගකීම ද නිසිලෙස ඉටුකර තිබෙන බව හෙතෙම අවධාරණය කළේය. ඒ පිළිබඳ තමන්ට සහතික විය හැකි බවද ඔහු කියාසිටියේය.

එමෙන්ම පෙර නොවූ විරූ ලෙස පක්ෂයේ සිංහල බෞද්ධ ජන්ද පදනම අහිමි වීම ගැන සොයා බැලිය යුතු අතර එකිනෙකාට ඇඟිලි දිගුකර චෝදනා කරමින් සිටීමේ පලක් නොවන බවත් හිටපු අගමැතිවරයා පැවසීය.

එම තත්ත්වය නිවැරදි කර ගැනීමට පියවර ගත යුතු අතර සංඝයා වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගෙන නිවැරදි බෞද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

මේ අතර මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් තමන්ට එල්ලවෙන චෝදනාවද ප්‍රතික්ෂේප කරන බව පැවසූ හිටපු අගමැතිවරයා පැවසුවේ තම පාර්ශවය මූල්‍ය කටයුතු භාර නොගත් බවය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ට පක්ෂය විවිධ වගකීම් භාරදුන් බවත් තමාට භාර වූයේ උතුරු නැඟෙනහිර දිනවීම වන අතර එම ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිශතය වැඩි කිරීමට තමා සමත් වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස