මගේ ඥාතීන්ට මිතුරන්ට ණය දෙන්න කියලා මම කියන්නේ නෑ! මේ රටේ ජනතාවට උවමනා සහන බැංකු මගින් දෙන්න! රට ගොඩනඟන්න එහෙම නැතිව බෑ! – ජනපති

June 15, 2020 at 9:13 pm | by emanisa.lk

බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු සතු වගකීමක් බවද හෙතෙම සඳහන් කළේය.

එය හඳුනාගෙන ආර්ථිකය සක්‍රීය කොට පවත්වා ගැනීමේ ක්‍රමෝපාය ඉදිරියට ගෙන යාම බැංකුවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපතිවරයා පැවසීය.

ලංකා බැංකුවේ ක්‍රියාකාරීත්වය සමාලෝචනය කිරීම සඳහා අද (15) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ණය සඳහා ඉලක්කම් 02ක පොළියක් අය කිරීමෙන් රටක අපේක්ෂා ඉටු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙනැවිත් සංවර්ධනයට සහාය වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

රටේ කුමන ක්ෂේත්‍රය සමග සාකච්ඡා කළ ද සිය කර්මාන්ත සඳහා බැංකු මගින් අපේක්ෂිත සහන නොලැබෙන බවට චෝදනා නැඟෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා තමාගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ උපකාර කළ පිරිසට ණය දෙන ලෙස කිසි විටෙකත් තමා බැංකුවලට කියා නැති බවද සඳහන් කළේය.

ගොවියාගේ සිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට සහ ආයෝජකයන් අපේක්ෂා කරන මූල්‍යමය සහය දීමට රාජ්‍ය බැංකු පෙරමුණ ගත යුතු බව හෙතෙම පැවසීය. එම කටයුතු නොකරන නිලධාරීන් වේ නම් ඔවුන් ඉවත් කර අලුතින් පිරිසක් පත් කළ ද තමන්ට ගැටලුවක් නැතැයි ජනාධිපතිරයා අවධාරණය කළේය.

“අද පවතින තත්ත්වයට ලෝකයේ කිසිදු රටක් මෙතෙක් මුහුණ දී නැත. ඉන් මිදිය හැක්කේ කෙසේද යන්න පැරණි රටාවෙන් බැහැරව සිතිය යුතුයි. වැටී ඇති ආර්ථිකය නගාසිටුවීම සාම්ප්‍රදායික ක්‍රමවේද මගින් පමණක් කළ නොහැකියි.”

ජනතාව තමාට ලබාදී ඇති බලය ක්‍රියාත්මක කරමින් සමස්ථ රටවැසියාගේ අපේක්ෂා ඉටු කිරීමට පසුබට නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එය කිසිසේත් දේශපාලනය වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට බාධා කරන්නේ නම් සුදුසු පියවර ගැනීමට පසුබට නොවන බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස