බොරු නඩු ඉහළ උසාවිවල දී පරදිනවා! යහපාලන නඩුවලට වුණේ ඒකයි! – සුසිල් ප්‍රේමජයන්ත

December 7, 2020 at 10:48 am | by emanisa.lk

අපරාධ නඩු සම්බන්ධයෙන් වැඩ කළ නිතිවේදියෙක් ලෙස තමන් දන්නා දේ නම්, නිර්මාණය කළ නඩු ඉහළ උසාවිවල විභාග කිරීමේ දී සාක්ෂි විමසීම්වල දී බිඳ වැටෙන බව යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

කුරුණෑගල මහාධිකරණයේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකළ නඩුව විභාග කරන ලද්දේ ඔහු රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටිය දී යැයි ද එහෙත් සාක්ෂි බිඳවැටීම නිසා ඔහු නිදොස් කොට නිදහස් කර ඇතැයි ද හෙතෙම පැවැසීය.

ගාමිණි සෙනරත්ට විරුද්ධව ගොනු කර තිබු නඩුව ද සිවිල් ස්වරූපය තිබෙන දේවල් අපරාධ නඩු බවට පරිවර්තනය කර ගෙතූ නඩුවක් යැයි ද කී ඔහු බැසිල් රාජපක්ෂගේ නඩුව ද එවැන්නක් යැයි ද පෙන්වා දුන්නේ ය.

මේ අනුව මෙසේ නිර්මාණය කළ තවත් නඩු ඉදිරි කාලසීමාව තුළ බිඳ වැටෙනු ඇතැයි පැවසූ ප්‍රේමජයන්ත මෙම නඩු නිර්මාණය කිරීම සඳහා පසුගිය යහපාලන රජය කාලයේ පිහිට වූ එෆ්සීඅයිඩීය හිටපු අගමැතිවරයා විසින් පොලිස් ආඥා පනතේ වගන්තියක් ගැසට් කර නිර්මාණය කළ එකක් යැයි ද කී ය.

වත්මන් රජය පසුගියදා නඩු දෙකක් නිදොස් කොට නිදහස් කිරීම ගැන කතා රටේ කථා බහට ලක්වී ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එකක් අභියාචනාධිකරණය මගින් ද එකක් මහාධිකරණය මගින් ද නිදොස් කොට නිදහස් කර ඇතැයි කී ය.

මෙකී නඩු දෙකම යහපාලන රජය විසින් පැවරූ නඩු දෙකක් යැයි ද ඊට පෙර අවස්ථාවල දී ද සාක්ෂි නිර්මාණය කර ගොනු කර නඩු යැයි ද හෙතෙම කියා සිටියේ ය.

එහි නිර්මාණකරු වන හිටපු අගමැතිවරයා ම එය නීතිවිරෝධී ආයතනයක් යැයි ජනාධිපති කොමිසමේ දී පිළිගත් බව ද හෙතෙම කියා සිටියේ ය.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිදු ආකාරයකින් අධිකරණයට බලපෑම් නොකරන බව ද කිවයුතුයැයි ඔහු තව දුරටත් කියා සිටියේ ය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවක දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස