පෝර්ට්සිටිය චීන ජාතිකයින් මෙහෙය වීම පිළිබඳ ලාංකිකයින් සතුටු විය යුතුයි…..! – ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා

April 23, 2021 at 7:07 am | by emanisa.lk

චීන රජය විසින් ඉදිකර අප රජයට පරිත්‍යාග කළ උපරිමාධිකරණ සංකීර්ණය තුළ සිටම කොළඹ වරාය නගරය චීන කොලනියක් බවට පත් කිරීමට උත්සාහ දරන බවට පෙත්සම්කාර පාර්ශ්වය මැසිවිලි නැගීම හාස්‍ය උපදවන කරුණක් වන්නේ යැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය.

චීනය අප රටේ දීර්ඝකාලීන මිතුරකු වන නිසා කොළඹ වරාය නගර ආර්ථික කලාපය මෙහෙයවීමේ කටයුතු චීන ජාතිකයන් අතට පත්වීම සම්බන්ධයෙන් කිසිවකු අසුභවාදීව නොසිතිය යුතු බවත් එක්තරා දුරකට එය ශ‍්‍රී ලාංකිකයන්ට සතුටු විය හැකි කරුණක් වන බවත් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එහි දී අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වැඩිදුරටත් පැවසීය.

කොළඹ වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පාර්ශ්ව කිහිපයක් විසින් ගොනුකර ඇති පෙත්සම් විභාගයේදී එම පෙත්සම්වලට අතරමැදි පාර්ශ්වකරුවකු ලෙස සම්බන්ධ වී සිටින ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් අප රටේ සමහර පුද්ගලයන් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව කොළඹ වරාය නගර කොමිෂන් සභාව අවතාරයක් ලෙස සිතින් මවාගෙන සිටින බව අධිකරණයට පැවසීය.

වරාය නගර කලාපයේ පරිපාලනය, ව්‍යාපාර හා ආර්ථික සැලැස්ම සකස් කිරීම ඇතුළු සියලු බලතල එකී කොමිෂන් සභාව වෙත පැවරෙන බවත් ඒවා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිව ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවත් එහිදී අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥවරයා එය රටේ විධායක ජනාධිපතිවරයාගේ සංකල්පයක් වන්නේ යැයි ද කීවේය. එකී කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් 7 දෙනා පත්කිරීමේ අභිමතය ඇත්තේ රටේ ජනාධිපතිවරයාට වන බැවින් සමහර විට සම්පූර්ණයෙන් ම ශ‍්‍රී ලාංකිකයන් හෝ විදේශිකයන් ඒ සඳහා පත්කරනු ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා විනිසුරු මඬුල්ල හමුවේ පැවසීය.

පෙත්සම්කරුවන් ප‍්‍රශ්න කරනුයේ එලෙස පත්කරනු ලබන විදේශිකයන්ගෙන් සැදුම්ලත් කොමිෂන් සභාවකින් අප රටේ ආර්ථිකය නඟාසිටුවීමක් අපේක්‍ෂා කළ හැකි දැයි යන කරුණු නොවන්නේ දැයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය එහි දී විමසා සිටි අතර, විදේශ ජාතිකයන් හත්දෙනකුම පත්කිරීම වැනි සියදිවි හානිකර ගැනිමක් සමාන තීරණයක් ජනාධිපතිවරයා නොගනු ඇතැයි තමා සිතන්නේ යැයි රොමේෂ් ද සිල්වා එහිදී ප‍්‍රකාශ කළේය.

එකී කොමිෂන් සභාවට පත්කරනු ලබන සාමාජිකයන් නිසි සුදුසුකම් සපුරා නොමැතිවීම වැනි කරුණුවලදී ඕනෑම පාර්ශ්වයකට අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් ගොනු කිරීම වැනි නීතිමය පියවර ගැනීමේ අයිතිය ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට කීවේය.

යෝජිත කොළඹ වරාය නගර ආර්ථික කලාපය කොළඹ පරිපාලන දිස්ත‍්‍රික්කයට අයත් විශේෂ ආයෝජන කලාපයක් ලෙස මේ වන විට පාර්ලිමේන්තුව සම්මත කර ඇති බැවින් එම කලාපයේ පිහිටි ඉඩම් සම්බන්ධයෙන් පළාත් සභාවෙන් අනුමැතියක් ලබා ගැනීමේ නීතිමය අවශ්‍යතාවක් නොමැති බව ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට කීවේය.

එකී ආර්ථික කලාපයේ පිහිටි ඉඩම් හා සියලු භූමිභාගය අප රටේම කොටසක් වන්නේ යැයි කියන කරුණු සම්බන්ධයෙන් කිසිවකු සැකසංකා ඇතිකර නොගත යුතු බවත් එහිදී අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙත්සම්කරුවන් පෙන්වාදෙන පරිදි ඉඩම් සම්බන්ධයෙන් අනුමැතිය ලබාගැනීමට පළාත් සභාව සක‍්‍රියව නොපවතින බව ද කීවේය.

විදේශීය සමාගම් රුපියල් බිලියන සිය ගණනක් ආයෝජනය කර අප රටේ සංවර්ධන ක‍්‍රියාවලියට දායකත්වය දක්වන විට රටේ පවතින සෑම නීතියකින්ම ඒවා ග‍්‍රහණයට ලක්නොකර යම් සහනදායී පිළිවෙතක් අනුගමනය කිරීම රජයේ වගකීම වන්නේ යැයි අතරමැදි පෙත්සම්කරුවකු වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන අධිකරණයට පැවසීය.

ශ‍්‍රී ලංකාව වැනි සරුසාර ආර්ථිකයකට හිමිකම් නොකියන රටක සංවර්ධනය සඳහා විදේශීය ආයෝජකයන්ගේ සහයෝගය ඉතා අත්‍යවශ්‍ය බව ඕනෑම අයකු පිළිගනු ඇතැයි පවසමින් සිය දේශනය ආරම්භ කළ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන යෝජිත පනත් කෙටුම්පතේ යම් අඩුලුහුඬුකම් පවතින්නේ නම් ඒවා සංශෝධනයට ලක්කිරීම හෝ නව කොන්දේසි හඳුන්වාදීමේ හැකියාව පාර්ලිමේන්තුවට ඇතැයි ද කීවේය.

කොළඹ වරාය නගරය ඉදිකිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 2013 වසරේදී යෝජනාවක් ගෙන ඒමෙන් පසුව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ 2016 වසරේදී කැබිනට් සංදේශ දෙකක් ද 2016 වසරේදී හා 2017 වසරේදී හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක හා වජිර අබේවර්ධන කැබිනට් සංදේශ දෙක බැගින් ද ඉදිරිපත් කර ඇතැයි අතරමැදි පාර්ශ්වකරුවන් වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල හා කැබිනට් මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප‍්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණයට කීවේය. එමගින්ම කොළඹ වරාය නගර ආර්ථික කලාපය රටේ ආර්ථිකයට කොතරම් වටිනාකමක් ඇත්තේ දැයි පෙනී යන්නේ යැයි ද දීර්ඝ ලෙස සංඛ්‍යාලේඛන හා ඊට අදාළ තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණයට පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස