පොළොන්නරුවේ තියෙන්නේ ගුත්තිල-මූසිල තරඟයක්! මම ගුත්තිල, රොෂාන් මූසිලියා! ඡන්දේ දිනන එක මට කජු කනවා වගේ වැඩක්! – මෛත්‍රී

July 10, 2020 at 8:25 am | by emanisa.lk

තමන් පොළොන්නරුවෙන් හය වතාවක් පළවෙනියා ලෙස පාර්ලිමේන්තු ගිය බවත් මෙවර මැතිවරණය ජය ගැනීම තමන්ට කජු කනවා වැනි වැඩක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

සිරිපුර, පල්ලේගම පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

“මම හය වතාවක් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පළවෙනියා විදිහට පාර්ලිමේන්තු ගියා. අද පොළොනන්රුවේ තියෙන්නේ ගුත්තිල මූසිල තරගයක්. එදා මේ මූසිලලාගේ බොස් තමයි මම. අද මේ මූසිලලා බොස්ට බැණ බැණ යනවා. මට බණින අයට මම මොනවත් කියන්නේ නැහැ. ජනතාව නිසි වෙලාවට ඒවට පිළිතුරු දෙන්න සූදානමින් ඉන්නවා. මම බුදුදහමට අනුව ජීවත්වන කෙනෙක්. මට මේ ඡන්දෙ කිරිකජු කනවා වගෙයි.

මේ වතාවේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට තරග කරන අපේ කණ්ඩායමේ සමහරු අවුරුදු දහයකට වැඩිය පාර්ලිමේන්තුවේ හිටියා. දිස්ත‍්‍රික්කයේ සංවර්ධනයට මොනවද කළේ කියලා ඡන්දේ ඉල්ලගෙන ඔබේ නිවසට ආවම එයාලගෙන් අහන්න. මම ජනාධිපති වෙලා දිස්ත‍්‍රික්කයේ වෙහෙර විහාර විතරක් 113 ක් හැදුවා. මම මට බණින කිසිකෙනකුට මම අපහාස උපහාස කරන්නෙ නැහැ.

අවුරුදු 30 ක් පුරාවට පොළොන්නරුව ජනතාවගේ දියුණුවට කටයුතු කළ මම හොඳට පිං කරපු කෙනෙක්. ධර්මයට අනුව ජීවත්වන පුද්ගලයා ධර්මය විසින් ආරක්ෂා කරනවා. මාව මරන්න මගේ ගෙදරට ආව එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදියාට පවා සමාව දුන්නා. ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් එහෙම කරලා නැහැ. වංචාව, දූෂණය, හොරකම කවදාවත් මගේ ළඟ තිබුණේ නැහැ. ඒ නිසා ජනතාව හැමදාම මා සමග සිටියා.

මම මුලින්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයකු ලෙස පාර්ලිමේන්තුවට තරග කරන කළේ මට සමහර ගම්මානවල මිනිස්සු දහයක් හොයාගන්න හිටියේ නැහැ. නමුත් මනාප ඡන්ද 13752 ලබාගෙන මම එදා පාර්ලිමේන්තුවට ගියා. එදා සිට ප‍්‍රශ්නයක් විසඳගන්න මගේ ළඟට ආව කිසිකෙනකුගෙන් දේශපාලන පක්ෂය කුමක්ද කියලා මම කවදාවත් අහලා නැහැ. මගේ ප‍්‍රතිපත්තිය ජනතා ප‍්‍රශ්න විසඳීමයි. මේ මැතිවරණයෙන් පසුව ඔය කෑගහන මහත්වරුන්ට භෞතික සම්පත් සංවර්ධනය කරන්න අවස්ථාව ලබා දීලා, මම ප‍්‍රදේශයේ ජනතාව සහ ඔවුන්ගේ දරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන් කැප වෙනවා. මොරගහකන්ද ජලාශය නිසා අද පොළොන්නරු ජනතාවගේ ජල ගැටලුව සම්පූර්ණයෙන් විසඳා තිබෙනවා.

මෙවර මැතිවරණයට මුළු ලංකාවෙන්ම අපේක්ෂකයෝ 1500 ක් විතර ඉදිරිපත් වෙනවා. නමුත් පාර්ලිමේන්තුවට යන්නේ 225 යි. මේ අයගෙන් කොටසක් ආණ්ඩු පක්ෂයටත් තවත් පිරිසක් විපක්ෂයටත් යනවා. විපක්ෂයට යන අයගේ රාජකාරිය විවේචනය කිරීම විතරයි. මෙය අපේ රටේ තිබෙන නරක දේශපාලන සම්ප‍්‍රදායක්. අපි මෙම තත්ත්වය වෙනස්කොට ආදර්ශමත් දේශපාලන සංස්කෘතියක් හදන්න ඕන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස