පිරිත් පැන් පිරිත් නූල් අතට දෙන්න එපා! දායකයින් දානය බෙදන්න යන්න එපා! – අමරපුර සංංඝ සභාවෙන් ඉල්ලීමක්….

November 14, 2020 at 8:06 am | by emanisa.lk

කොවිඩ් – 19 වසංගතය නිසා බැතිමතුන්ට පිරිත් පැන් සහ නූල් අතට නො දෙන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව, මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කර තිබේ.

රට තුළ ඇති වී තිබෙන කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ ආගමික කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ දැනුම්වත් කරමින් අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමියන් විසින් මහා සංඝරත්නය වෙත පිළිවෙත් මාලාවක් නිකුත් කර තිබේ.

වෛද්‍ය උපදෙස් අනුව භික්ෂූන් වහන්සේලා පස් නමක් හෝ භික්ෂුණින් වහන්සේලා පස් නමක් වඩමවා සාංඝික දානය පිළිගන්වන ලෙසත්, එසේ අපහසු නම් ආරාමයට ගොස් එක් භික්ෂුවකට හෝ භික්ෂුණියට සාංඝික වශයෙන් දානය පිළිගන්වන ලෙසත් එහි සඳහන් වෙයි.

පන්සලේ කෙරෙන දන් දීමක දී හැකි සෑම විට ම ආරාමය තුළ සුදුසු ස්ථානයක පුද්ගලයන් 04 දෙනකු හෝ ඊට අඩු සංඛ්‍යාවක් සහභාගී කරගෙන දානය සකසන ලෙසත්, මුව ආවරණ පැළඳ සිටින ලෙසත්, දානය කුඩා බඳුන්වලට දමා මේසය මත තබන ලෙසත්, දායකයින් දානය බෙදීමෙන් වැළකී සිටීම සුදුසුයැයි ද එම පිළිවෙත්වලට අදාළ උපදෙස් මාලාවේ සඳහන් වේ.

වන්දනා කිරීම ඈතින් සිට කිරීම පුරාණයේ දී සිදු කර ඇති නිසා ඇවැත් දෙසීම් ආදී කටයුතුවලදී දුර ප්‍රමාණය සැලකිල්ලට ගන්නා ලෙසත්, මෙම කාලය තුළ පාත්‍රය භාවිත කිරීම ඉතා යෝග්‍ය බවත්, භික්ෂූන් වහන්සේලාගේ විනය කර්මවලදී අත්පස වැඩ හිඳීම අකුරට ම පිළිපැදිය යුතු බවත් අමරපුර මහා සංඝ සභාව නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන් වේ.

වයෝවෘද්ධ හිමිවරුන්ට උපස්ථානය එක් පුද්ගලකුට සීමා කරන ලෙසත්, බහු ආරාමයෙන් බැහැර යාම සීමා කරන ලෙසත්, ආදාහන කටයුත්තක් හැර වෙනත් ආගමික උත්සව සංවිධානය නො කරන ලෙසත් වැසිකිළි භාවිතයේ දී කොමඩ් එකට කවරයක් භාවිත කරන ලෙසත් අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී මහා සංඝරත්නයේ අවධානය යොමු කරමින් යැවූ ලිපියේ සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස