පාර්ලිමේන්තු යවන්න ඕන හිස් උගත්තු නෙමෙයි! ඊළාම් ව්‍යවස්ථාව හැදූ සුමන්දිරන්ලා ජයම්පතිලත් උගත්තු තමයි! ඒ නිසා දේශප්‍රේමි බුද්ධිමත්තු පාර්ලිමේන්තු යවන්න! – ආචාර්ය සරත් වීරසේකර

July 2, 2020 at 8:57 am | by emanisa.lk

“ජනතාව සිතනවා පාර්ලිමේන්තු යැවිය යුත්තේ උගත්, බුද්ධිමත් අය කියලා. මම ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ජයම්පති වික්‍රමරත්න කියන්නේ උගත්, බුද්ධිමත් හිටපු මන්ත්‍රී කෙනෙක්. ඔහු තමයි රට බෙදන ව්‍යවස්ථාව හැදුවේ. සුමන්තිරන් මන්ත්‍රීවරයාත් උගත් බුද්ධිමත්. ඔහු තමයි රට ෆෙඩරල් කරන ව්‍යවස්ථාව හැදුවේ.” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර කලාකරුවන් පිරිසක් දැනුවත් කිරීමේ සුහද හමුවක් පවත්වමින් පිළියන්දලදී එසේ පැවැසීය.

ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

‘‘කලාවට ලැදි සිත කැලෑවට යන්නේ නැත’’ කියලා කියමනක් තියෙනවා. ඒ නිසා අපේ දරු දැරියන් කලාවට අනිවාර්යයෙන්ම යොමු කළ යුතු වෙනවා. කලාවට සම්පූර්ණ දිවියම කැප කරලා තියෙන ඔබතුමන්ලා සෑම දෙනාම අපිට ඇත්තටම ආඩම්බරයක්. ඕනෑම කලා කටයුත්තක නිරත වෙන්න අපේ මනසට නිදහස තියෙන්න ඕනේ. බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න වාතාවරණයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත වෙන්න ඕනේ. රටේ බෝම්බ පුපුරනවා නම්, ත්‍රස්තවාදය තියෙනවා නම් අපිට කලා කටයුතුවල නිරත වෙන්න බැහැ.

මේ කියන ජාතික ආරක්ෂාව තමයි පහුගිය යහපාලන රජය විසින් පරදුවට තැබුවේ. බෝම්බ පිපුරුවයින් පස්සේ කඩු කිනිසි හොයන එකවත්, ත්‍රස්තවාදියාගේ අම්මා තාත්තා හොයන එකවත් නෙවෙයි ජාතික ආරක්ෂාව කියන්නේ. ප්‍රහාරයක් වෙන්න කලින් කවුද ත්‍රස්තවාදියා, මොකක්ද ඒ අයගේ අරමුණු, ඉලක්කය මොකක්ද වගේ දේවල් සොයා බලන එකයි නියම ජාතික ආරක්ෂාව.

ජාතික ආරක්ෂාවේ කොඳු නාරටිය තමයි බුද්ධ අංශය. මහින්ද රාජපක්ෂ රජය යටතේ අපි යුද්ධය දිනලා ඉවර වෙනකොට බුද්ධි බළකායවල් 3 යි මේ රටේ තිබුණේ. යුද්දෙන් පස්සේ ඒක 7 ක් දක්වා වැඩි කළා. ඒ නිසා 2010-2015 කාලය අතරතුර තුන් වතාවක් එල්ටීටීඊය නැවත හිස ඔසවන්න හදනකොට අපිට ඒක නවත්තන්න හැකිවුණා. ඒ වගේම මද්‍රසා පාසල්වල අන්තවාදය උගන්වපු පූජකවරු 160 ක් පිටුවහල් කරන්නත් පුළුවන් වුණා. යහපාලන රජය පත්වූ විගසම ඒ සියලු බුද්ධි අංශ අකර්මණ්‍ය කළා. ඒ නිලධාරීන්ව හිරේ දැම්මා. රණවිරුවන්ව යුද අපරාද කළා කියලා ජාත්‍යන්තරයට ගෙනියන්න හැදුවා. ඒ නිසා තමයි එදා පාස්කු ප්‍රහාරය එල්ල කරන්න ඒ ත්‍රස්තවාදීන්ට පහසු වුණේ.

හම්බන්තොට වරායට කිලෝ මීටර 20 ක් පමණ දකුණින් දවසකට නැව් 400 ක් පමණ යනවා. ඒ නැව්වලින් සියයට පනහකටවත් මෙරටින් ඉන්ධන දුන්නොත්, සේවකයන්ට හා පිරිසට ආහාරපාන ලබා දුන්නොත් මේ රටට එන ධනස්කන්ධය හිතන්නවත් පුළුවන්ද? ඒ ධන උල්පත උගත්, බුද්ධිමත් අය සිටිය යහපාලන රජය චීනෙට වික්කා වසර 198 කට. ඒ නිසා පාර්ලිමේන්තු යා යුත්තේ උගත්, බුද්ධිමත් මෙන්ම තම දේශයට ආදරය කරන දේශප්‍රේමීන්.’’

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස