පාර්ලිමේන්තුවට කොරෝනා තර්ජන…! කතානායක රියදුරු සහ පොලිස් පරික්ෂක ආසාදිතයි…! කාර්යාලය වසා කතානායක ස්වයං නිරෝධායනයට..!

December 31, 2020 at 8:11 am | by emanisa.lk

කථානායකවරයාගේ පෙර ගමන් රථයේ පොලිස් රියැදුරුට සහ උප පොලිස් පරීක්ෂකවරයාට කොවිඩ් වැළඳී තිබීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ පිහිටි කථානායක කාර්යාලය ද වසා දැමීමට තීරණය කර ඇත.

මෙම ආසාදිත උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තු තැපැල් කාර්යාලයට ද ගොස් මුද්දර මිලට ගෙන ඇති බැවින් එම තැපැල් කාර්යාලය ද වසා දමා තිබේ.

ඔහු ගමන් කළ පාර්ලිමේන්තු විදුලි සෝපානයේ විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනකු ද ගමන් කර ඇති බව සීසීටීවී දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇත.

මේ නිසා කථානායක කාර්යාලය, තැපැල් කාර්යාලය සහ විපක්ෂ නායක කාර්යාලය ද ඇතුළුව පාර්ලිමේන්තුවේ අංශ කිහිපයක සේවය කරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විසි පස් දෙනෙකුගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ අද (31 වැනිදා) සිදු කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවැසුවේ ය.

මෙම පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල මත පාර්ලිමේන්තුවේ තවත් අංශ කිහිපයක් වසා දමනවා ද නැද්ද යන්න තීරණය කෙරේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධනද මේ වන විට දෙහිවල පිහිටි ඔහුගේ නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින අතර කොවිඩ් ආසාදිතයන් වන ඉහත පොලිස් රියැදුරාගේ සහ උපපොලිස් පරීක්ෂකවරයාගේ සමීප ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් කථානායකවරයාගේ ආරක්ෂක අංශයේ පිරිසක් ද මේ වන විට නිරෝධායනයට ලක් කර තිබේ.

කථානායකවරයා ස්වයං නිරෝධායනයේ පසුවන බැවින් ඊයේ (30) පැවැති පක්ෂ නායක රැස්වීම ද පවත්වා ඇත්තේ කාරක සභා නියෝජ්‍ය සභාපති අංගජන් රාමනාදන්ගේ ප්‍රධානත්වයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස