පාඨලීගේ මෙගාපොලිස් කාර්යාල 5ක් කිසි වැඩක් නොකර කෝටි 25ක් ගිලී! වහාම වසා දැමේ…

September 23, 2020 at 6:44 am | by emanisa.lk

වසර දෙකක කාලයක් කිසිදු සේවාවක් ඉටු නොකළ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යාපෘති කාර්යාල 05ක් වසා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

එම කාර්යාල සඳහා රජයේ මුදල් රුපියල් කෝටි 25 කට අධික මුදලක් වියදම් කර ඇත.

මෙම ව්‍යාපෘති කාර්යාලවලට අමතරව පසුගිය වසරේදී පමණක් ව්‍යාපෘති සම්බන්ධිකරණ ඒකකයක් පවත්වා ගෙන යාම සඳහා රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් රජයෙන් ලබා දී ඇති බව අනාවරණය වී ඇත.

බස්නාහිර කලාපීය හා මහ නගර සැලසුම් ව්‍යාපෘතිය වහාම වසා දැමීමට දැනටමත් තීරණය කර ඇත. මෙම ව්‍යාපෘති කාර්යාලය සඳහා 2018 වසරේදී රුපියල් මිලියන 10.22 ක්ද 2019 දී රුපියල් මිලියන 19.04 ක්ද වැය කර ඇත.

විද්‍යා හා තාක්ෂණ නගර ව්‍යාපෘති කාර්යාලය සඳහා වර්ෂ 2018 දී මිලියන 40.11 ක්ද 2019 දී මිලියන 48.22 ක් ද වියදම් කර ඇති බවත් සමුද්‍රීය නගර ව්‍යාපෘතිය සඳහා 2017 හා 2018 වර්ෂවලදී රුපියල් මිලියන 47.2 ක් ද, ගුවන් නගර හා පරිපාලන නගර ව්‍යාපෘතිය සඳහා 2018 දී රුපියල් මිලියන 80.7 ක් ද, 2019 දී රුපියල් මිලියන 29 ක් ද වැය කර ඇති බවත් වාර්තා වේ.

මෙම සියලු ව්‍යාපෘති පසුගිය වසර දෙක තුළදී කිසිදු කාර්යයක් ඉටු නොකර කාර්ය මණ්ඩලවලට මුදල් වැය කිරීම පමණක් කර තිබෙන බව ද රජයේ ආරංචි මාර්ග පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස