නිරෝධායනයට යොමු කළ අයෙකුගේ නොහොබිනා වැඩකින් සිය ගණනක් අනතුරේ!

November 19, 2020 at 7:46 am | by emanisa.lk

කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ නිරෝධයනයට ලක් කර  සිටි පුද්ගලයෙකු  කොරෝනා වෛරසය වැළඳීමෙන් මිය ගිය මාමණ්ඩියගේ මරණ පරීක්ෂණ වාර්තාව රැගෙන ඒම සඳහා පොළොන්නරුව වැලිකන්ද රෝහල වෙත  පොදු ප්‍රවාහන බස් රථයකින් ගමන් කරමින් සිටියදී දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ පොලීසිය එක්ව බස් රථයෙන් බස්සවා දඹුල්ල මූලික රෝහලේ covid-19 වාට්ටුවට ඊයේ පස්වරුවේ ඇතුළත් කොට ඇත.

මෙම පුද්ගලයා බස් රථයෙන් ගමන් කරන බවට ලද තොරතුරක් මත බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා මෙයාකාරයෙන් බස් රථය දඹුල්ල රෝහල ආසන්නයේ නවතා මේ බව දැනුම් දී  ඇතැයි දඹුල්ල රෝහලේ  මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් .එම් . රණතුංග පැවසුවේය.

මාලිගාවත්ත ප්‍රදේශයේ මෙම පුද්ගලයාගේ පවුලේ කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙන බවත් මෙම පුද්ගලයාගේ මාමණ්ඩිය වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛරසය ආසාදනය වී මියගොස් ආදාහන කටයුතු සිදුකොට තිබෙන බවත් වාර්තා වෙයි.

ඔහුගේ බිරිඳ ද මේ වන විටත් කොරෝනා ආසාදිත වූ බව  හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම පුද්ගලයාගේ විදේශගතව සිටින ඥාතියෙකු  මරණ පරීක්ෂණය පිළිබඳව සැකයක් පවතින බව පවසමින් වහාම ගොස් මිය ගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණ වාර්තාව සහ පි සි ආර් කළ වාර්තාව ඇරගෙන එන්නැයි ලබා දුන් උපදෙසක් මත මෙම පුද්ගලයා කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වන ලංගම බස් රථයකට ගොඩ වී දඹුල්ලෙන් බැස  පොළොන්නරුවට ගමන් කිරීම සඳහා යන බව රෝහල් බලධාරීන් වෙත ප්‍රකාශ කොට තිබේ.

පසුව  සෞඛ්‍ය පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි බස් රථයේ සිටි සියලු මගින් ගේ විස්තර සහ තොරතුරු ලබාගෙන ඉදිරියට කිසිදු මගියකු බස්රථයට ලබා ගැනීමකින් තොරව ගමනාන්තය දක්වා ගමන් කරන ලෙසත් මගින් සියලු දෙනාටම නිවෙස් වලට ගොස්  නිරෝධායනයට ලක්වී යම්කිසි රෝග ලක්ෂණයක් මතු වන්නේ නම් වහාම ඒ බව සෞඛ්‍ය අංශ වෙත දැනුම්වත් කරන්නැයි  දැනුම් දී තිබේ.

මාලිගාවත්ත සිට පොළොන්නරුව වැලිකන්ද බලා බස් රථයෙන් ගමන් කරමින් සිටියදී දඹුල්ල රෝහලේ  වාට්ටුවට ඇතුළත් කළ පුද්ගලයාගේ පි සි ආර්  පරීක්ෂණ එම අවස්ථාවේම ලබාගෙන මහනුවර පරීක්ෂණාගාර වෙත යැවීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස