දේශීය ඖෂධ අවශ්‍යතාවෙන් 60%ක් රටේ නිපදවන්න සූදානම්! ඖෂධ අපනයනය සඳහා අක්කර 400ක නිෂ්පාදනය කලාපයක්!

September 11, 2020 at 12:57 pm | by emanisa.lk

ඉදිරි තෙවසර තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් 50%ක් දේශීයව නිෂ්පාදනයට රජය සැලසුම් කර තිබේ.

විදේශ වෙළෙඳපොළට සහ  ජනතාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට  ලබාදීම එහි ඉලක්කයයි.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හා ප්‍රමිතීන්ට අනුකූලව සියලු නිෂ්පාදන සිදු කෙරේ. මෙරට ඖෂධ අවශ්‍යතාවෙනේ 85% දැන් ආනයනය කරනු ලැබේ. ඒ සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් බිලියන 130කි. මෙරට ඖෂධ අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60ක් රටට ඉතිරි වේ.

අදාළ ඉලක්ක ජය ගැනීමට අපට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

දැනට ආසියානු කලාපය තුළ වැඩියෙන්ම  ඖෂධ ආනයනය කරන රට ශ්‍රී ලංකාවයි. වහාම මේ තත්ත්වය වෙනස් කළයුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට දායක වීමට මහා පරිමාණ දේශීය ආයෝජකයන් කැමැත්ත පල කර තිබෙන බව අනාවරණය කළේය.

විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා අක්කර 400ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්ත පුරවරයේ ස්ථාපනය කෙරේ. ඊට එක්වීමට ලෝකයේ ඉහළ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් දැනටමත් ඉදිරිපත්ව සිටී. අප්‍රිකානු සහ අග්නිදිග ආසියානු කලාපයේ ඖෂධ සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර එම වෙළෙඳපළ අවස්ථා අත්කර ගැනීම ද ඉලක්කයකි.

රාජ්‍ය අංශය දියුණු කරන අතරම පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් ද ශක්තිමත් කිරීමට රජය බැඳී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනයට එක්වන්නැයි ජනාධිපතිවරයා ඖෂධ නිෂ්පාදන ආනයන සමාගම් වෙත  විවෘත ආරාධනයක් කළේය.

දේශීය අයෝජකයන් සඳහා අයෝජන කලාපයක් අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 100ක භූමි භාගයක ඉදි කෙරේ. මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් 25 දෙනෙක් ඇමරිකානු ඩොලර් මිලියන 300කට වැඩි ආයෝජනයක් කිරීමට සූදානම්ව සිටිති. වත්මන් රජය යටතේ මෙරට ඖෂධ නිෂ්පාදනයේ සුවිශේෂ ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. මේ වන විට රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක් නැති බව අනාවරණය කෙරිණ. සෑම මසකටම එක් නව ඖෂධයක් රට තුළ නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර ඉදිරි වසරේදී සති දෙකකට වරක් නව ඖෂධයක් නිෂ්පාදනය රජයේ ඉලක්කය වේ.

ඖෂධ නිෂ්පාදන ලියාපදිංචියට වසරකට ආසන්න කාලයක් ගත වූ අතර එම ප්‍රමාදය මගහැරීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් හඳුන්වාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.  ඖෂධ නියාමන අධිකාරිය තුළ දේශීය ඖෂධ ලියාපදිංචිය ඇතුළු ගැටලු නිරාකරණය සඳහා වෙනම ඒකකයක් ස්ථාපනයට ද තීරණය කෙරිණි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ජනතාවට පහසු මිලට ලබාගැනීම සඳහා දිවයින පුරා සතොස සහ සමූපකාර සුපිරි වෙළෙඳසැල්වල ඖෂධ අළෙවිසැල් 100ක් ස්ථාපනය කිරීමට ද සාකච්ඡා කර තිබේ. නිවාස වෙතම ඖෂධ සැපයීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස