ජාතිවාදය වපුරල හොරු රජ වුණා..! සහන දුන්නේ සල්ලි අච්චු ගහල…! එක ම විකල්පය රනිල් සහ එජාපය විතරමයි..!

January 9, 2022 at 3:43 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගොස් සිටින කණ්ඩායම හරි වෙලාවට එක ම වේදිකාවකට එකතු වනු ඇතැයි තමන් සිතන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ දී නව වසරේ කටයුතු ආරම්භ කිරීම පිණිස අද (09) පැවැති උත්සවයේ දී ඔහු මේ බව පැවසීය.

මෙහි දී තව දුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය නායකවරයා මෙසේද කීය.

“අද රටේ සමස්ත ජනතාව දේශපාලනඥයින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පවතිනව. දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරනව. ජනතාවට දේශපාලනය කියන එකත් එපාවෙලා තිබෙනව. පසුගිය යහපාලන රජය සමයේ ජනතාව යම්කිසි බලාපොරොත්තුවක් තියා ගත්තා, රට තුළ දේශපාලනඥයින් විසින් සිදු කරන දූෂණ වංචා අවසන් කරල වෙනසක් කරාවිය කියල.

නමුත් ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තිබූ කඹ ඇදිල්ල නිසා හිටපු හොරු ටික නිදැල්ලේ, නිදහසේ ඉදිමින් තමන්ගේ දේශපාලන වැඩටික කරගෙන මිනිස්සුන්ගේ ඔලුවලට ජාතිවාදය වපුරලා අර හොරු ටික රජ වුණා.

දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයේ දී රටේ ජනතාව විශාල බලාපොරොත්තුවක් තියා ගත්තා රටේ ජාතික ආරක්ෂාව තවත් ශක්තිමත් කරගෙන එතුමා දේශපාලනඥයෙකු නොවන නිසා මේ හොරු ටික අල්ලලා හරි පාලනයක් කරාවිය කියල හැට නව ලක්ෂයක් ඡන්දය දුන්න. නමුත් අද වෙලා තියෙන්නෙ මොකක්ද? අද එතුමාට හරියට වැඩ කරන්න බැරි තත්ත්වයක් තිබෙනව.

විසි වෙනි සංශෝධනයක් ගෙනල්ල පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තියාගෙන අද මේ ආණ්ඩුවට කිසි දෙයක් කරන්න බැරිවෙලා තිබෙනව. රටේ ජනතාවට අද විශාල ආර්ථික අපහසුතාවකට මුහුණ දීමට සිදුව තිබෙනව. ආර්ථික කළමනාකරණයක් කිරීමට මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නැහැ. අද පුවත්පත්පතක් බැලුවොත්, ප්‍රවෘත්තියක් ඇහුවොත් අපි දකින්නෙ මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු ඉතාමත් හිනා යන කතා තමයි කියන්නෙ, රටේ ආර්ථිකය ගැන. අද මේ රට බංකොලොත් භාවයට පත්ව තිබෙනව.

මේ ආර්ථික ප්‍රශ්ණය හේතුව මහ බැංකුවට ඩොලර් නොමැති වීමයි. ඩොලර් නොමැතිකම නිසා අනෙක් රටවල් සමග අපට ගනුදෙනු කරන්න බැරිව තිබෙනව. මේ රටට අවශ්‍ය ආහාර ටික, පොහොර ටික ගෙන්වගන්න බැරිව තිබෙනව. රටට අවශ්‍ය අමු ද්‍රව්‍ය ගේන්න බැරිව තිබෙනව. මේ වගේ ප්‍රශ්න ගණනාවකටම මුහුණ පෑමට සිදුව තිබෙනව. නමුත් රජයේ මැති ඇමතිවරුන් කියන්නෙ කිසි ප්‍රශ්නයක් නැහැ කියලයි. අද ඩොලර් නොමැතිවීමෙන් ජීවන වියදම සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනව. අද ජනතාවට ජීවත් වෙන්න අමාරුයි.

පසුගිය දිනවල මේ රජය රුපියල් පන්දහසක සහන මල්ලක් ලබාදීම සිදු කළා. රජයේ සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට. එක පැත්තකින් අපි සතුටු වෙනව රටේ ජනතාවගෙන් කොටසකටවත් යම් සහනයක් ලබා දීම ගැන. නමුත් මේ සහන මල්ලෙන් මේ රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් නැහැ. මේ සහන මල්ලෙන් රටේ ඩොලර් ටික වැඩි කරන්නත් බැහැ. මේ සහන මල්ල සඳහා මිලියන ගණනක් වැය කරන්න වෙනවා.

පසුගිය අයවැයෙන් මෙහෙම සහන මල්ලක් ගැන කිව්වෙත් නැහැ. එහෙනම් කොහෙන්ද මේ මුදල් ටික ගේන්නෙ. මේ සඳහා තවත් මුදල් අච්චු ගැසිය යුතුයි. මුදල් ටික අච්චු ගසා මුදල් දෙන විට ආපසු උද්ධමනය වැඩි වෙනව. රුපියල බාල්දු වෙනව. ඒ කියන්නෙ බඩුමිල ආපහු වැඩි වෙනව. මින් උඩ සාක්කුවට පන්දාහක් දමා යට සාක්කුවෙන් දස දහසක් ගැනීමක් වැනි දෙයක් තමයි වෙන්නෙ. මින් කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. ප්‍රෝඩාව විතරයි.

ඉතින් මේ ආණ්ඩුවට දැන් රට ගෙන යන්නට බැහැ. ජනතාව මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරල තිබෙනව. නමුත් ජනතාව දැන් විකල්පයක් සොයනව, කව්ද මේ රට බේර ගන්නෙ කියල. කව්ද රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නෙ කියල. මේ රටේ තිබෙන ප්‍රශ්නවලට, ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂය තුලයි.

අද කවුරු මොන චෝදනා කළත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට තමයි මේ රටේ ආර්ථික සැලැස්මක් තිබෙන්නෙ. හරි ආර්ථික කළමනකරණයක් කළ හැකි එක ම දේශපාලනඥයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තය පමණයි. එතුමාට ඒ දැනුම සහ හැකියාව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයටත් ඒ දැනුම සහ හැකියාව තිබෙනවා.

අද ජාත්‍යන්තර වශයෙන් රටවල නායකයින්ට කතා කරල, මේ රටට අවශ්‍ය දේවල් ගන්න පුළුවන් එක ම පුද්ගලයා වන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තය. මේ නිසා රටේ ජනතාවට එකම විකල්පය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස