කොවිඩ් වසංගතය මැදින් රට ඉදිරියට ම…! රත්නපුරට පැය භාගෙන් යන්න…! රුවන්පුර අධිවේගයේ ඉදිකිරීමේ ඇරඹේ….!

May 7, 2021 at 11:11 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු අද (07) දින රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නව තාක්ෂණය භාවිත කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ආරම්භ වේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සංවර්ධනයේ හිණිපෙත්ත කරා ගමන් කරන තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් එහි ජීවත් වන ජනතාවට සහන ලබා දෙන මාර්ග පහසුකම් ඉතා ශක්තිමත්ව දීර්ඝ කාලයක් පවතින්නට ඒවා ඉදිකර මහජනතාව වෙත ජනගත කිරීම පවතින රජයේ මහා මාර්ග පිළිබඳ වගකීම බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

ඉදිකිරීමට යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයෙ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා දිවේ. මෙම රුවන්පුර අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කි.මි 73.9 කි. මෙම ව්‍යාපෘතිය 2014 වර්ෂයේ දී මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ යෝජනා වූ ව්‍යාපෘතියකි.

රුවන්පුර අධිවේගී මාර්ගය අදියර 3ක් යටතේ ඉදිකිරීමට නියමිතය. ඒ අනුව එහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කි. මි. 24.3 ක දුර ප්‍රමාණයක් ඉදිකරනු ලබයි. සම්පූර්ණ දේශීය සමාගමක් වන මාගා ඉංජිනේරු සමාගම මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. මේ සඳහා රුපියල් බිලියන 54.70 ක් වැය වේ. ඉදිකිරීම් කාලය මාස 30 කි.

කොවිඩ් වසංගතය හමුවේ වුව ද, රටේ සංවර්ධන කටයුතු අඩාල නොකර ජනතාව වෙනුවෙන් ඒවා ආරම්භ කිරීමට අපි කටයුතු කරන අතර මුඩු බිමක්ව තිබූ රට අපි වැඩබිමක් බවට පත් කරමින් මෙවැනි සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් ඉදිරියේ දී කොවිඩ් වසංගතය මධ්‍යයේ වුව ද, අපේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම රුවන්පුර අධිවේගී මාර්ගය ආර්ථික වශයෙන් ඵලදායී අධිවේගී මාර්ග පද්ධතියකි. පානදුර – රත්නපුර (A-08) හා කොළඹ – වැල්ලවාය – මඩකලපුව (A-04) මාර්ගවල පවතින මාර්ග තදබදය අවම වී සුවපහසු ගමනාන්තයක් සඳහා මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම තුළින් පහසුකම් සැලසේ. මෙම රුවන්පුර අධිවේගී මාර්ගය තුළින් කොළඹ, කලුතර, රත්නපුර, බදුල්ල, නුවරඑළිය, මොනරාගල සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික්කයන් සඳහා සමාජ ආර්ථික ප්‍රතිලාභ ලැබෙනු ඇත.

මැණික්, තේ, ඇඟළුම්, සුළු අපනයන බෝග යනාදිය කඩිනමින් වෙළඳපොළට සහ සැපයුම් ස්ථානවලට පහසුවෙන් පිවිසීමට මෙමගින් හැකිවේ. මාර්ග තදබදය අඩුවීම ඉන්ධන පිරිවැය අඩුවීම, ගමන් කාලය ඉතිරිවීම නිසා ආයෝජකයන්ට මෙම ප්‍රදේශයේ ආයෝජන අවස්ථාවල යෙදිමට මෙම අධිවේගි මාර්ගය තුළ ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *