ආණ්ඩුවේ සහන මල්ලත් සමඟ සතොස ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරයි…!

April 3, 2021 at 7:59 am | by emanisa.lk

පාරිභෝගිකයා වෙත සතොස ඔස්සේ සහන මල්ල ලබා දීම ආරම්භ කිරීමත් සමඟ සතොස අලෙවිසැල් ජාලය දිනක් ඇතුළත ඉතිහාසයේ වැඩි ම අලෙවිය පසුගිය 01 වෙනිදා වාර්තා කළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

වැඩිවන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට සතොස සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇති බවත් වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් සඳහා එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

පසුගිය රජය විසින් විදේශීය සමාගම් සඳහා මෙරට වෙ‌ළෙඳපොළ අධිකාරිය පවරා දෙනු ලැබුවාක් මෙන් හඳුන්කූරු, පාටපැන්සල්, සරුංගල් වැනි දේ පවා ආනයනය කර මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කර තිබූ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට භාර ගැනීමෙන් පසුව දේශීය කර්මාන්තකරුවාට හා නිෂ්පාදකයා සඳහා සාධාරණයක් ඉටු කරමින් මහජනතාවට සහන සැලසීමේ වගකීම තමා වෙත භාර දීමෙන් පසුව, පසුගිය රජයේ අත්තනෝමතික ආනයන ප්‍රතිපත්තිය වෙනුවට ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා රට මෙහෙයවීමට සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමට පියවර ගත් බව ද හෙතෙම සඳහන් කරයි.

කොවිඩ් වසංගතයෙන් සියලු රටවල සැපයුම් ජාලය අඩාල වී ආර්ථිකය සංකෝචනය වී පැවතිය ද මෙරට ආර්ථිකය නඟා සිටුවීමට සියලු රජයේ අමාත්‍යාංශය එක්ව කටයුතු කිරීම තුළ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය මෙන්ම අනෙකුත් නිෂ්පාදන සඳහා වන අමාත්‍යාංශයන් මඟින් දිරි ගැන්වෙන නිෂ්පාදනයන් සඳහා වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ඇති රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව, සතොස, සමූපකාර අලෙවිසැල් ජාලය වැනි ආයතන හරහා ඍජු වෙළෙඳපොළක් සකසා ඇති ආකාරය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

පසුගිය රජය විසින් ඈවර කිරීමට නියමිතව තිබූ BCC ආයතනය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මූලිකත්වයෙන් යුතුව නැවත නඟා සිටුවීමටත් නැවත ලාභ ලැබීමේ ආයතනයක් බවට පත් කිරීමටත් ලද හැකියාව මත මේ දිනවල බරපතල ලෙස පැන නැගී ඇති ආනයනිත පොල්තෙල් ගැටලුවට විසඳුමක් වශයෙන් BCC ආයතනය මඟින් ගුණත්වයෙන් ඉහළ දේශීයව නිෂ්පාදිත පොල්තෙල් සාධාරණ මිලට හා රජයේ වගකීමෙන් යුතුව සතොස අලෙවිසැල් ජාලය හරහා බෙදාහැරීමට හැකියාව ලද බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

මාධ්‍ය ඒකකය
වෙළෙඳ අමාත්‍යාංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *