ජාතික ලැයිස්තු මන්ත්‍රි හුටපට විපක්ෂය අවුළයි! දෙමළ සන්ධානයත් සීසීකඩ වන හැඩ!

August 11, 2020 at 5:27 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පෙරේදා (09) අපේක්ෂකයකු නම් කරනු ලැබුවද එම තීරණයට එම සන්ධානයේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේම සාමාජිකයන් පිරිසක් හා අනෙකුත් සාමාජික පක්ෂ දැඩි විරෝධතාව පළකර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අම්පාර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කර පරාජයට පත්වූ අපේක්ෂකයකු වන තවරාසා කලෙයි අරසන් මහතා නම් කෙරුණ අතර එම නම් කිරීම සිදුවූයේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා හා පක්ෂ සාමාජිකයන් තවත් කිහිප දෙනකු එක්ව කළ සාකච්ඡාවකින් අනතුරුවය.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතාටම හිමිවිය යුතු බවට අරසු කච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ශාඛාව තීරණයක් ගෙන තිබේ. ඉලංගෙයි තමිල් අරසු කච්චි දිස්ත්‍රික් ශාඛාව මෙම තීරණය ගත්තේ පෙරේදා 09 යාපනය මාටින් වීදියේ පිහිටි පක්ෂ කාර්යාලයට රැස් වූ අවස්ථාවේදීය.

මේ අතර පෙර යාපනයේදී මාධ්‍යය හමුවක් පවත්වමින් දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂ වන ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෛක්කලනාදන් මහතා සඳහන් කළේ අම්පාර දිස්ත්‍රික්කයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම පිළිබඳව තමගේ විරුද්ධත්වයක් නොමැති වුවත් එම තීරණය ගත යුත්තේ සන්ධානයේ සියලුම සාමාජික පක්ෂ සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ලැබෙන එකඟතාව මත බවයි. නමුත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා තනිව මෙම තීරණය ගැනීම පිළිබඳව සිය විරෝධය පළ කර සිටින බවද හෙතෙම සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ අනෙක් සාමාජික පක්ෂය වන ප්ලොට් පක්ෂයේ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා පැවසුවේ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තනිව තීරණය කිරීම පිළිගත නොහැකි බවත් එම මන්ත්‍රී ධුරය ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතාට හිමිවිය යුතු බවත්ය.

දෙමළ ජාතික සන්ධානය ඉලංගෙයි තමිල් අරසු කච්චි, ටෙලෝ හා ප්ලොට් යන දේශපාලන පක්ෂ තුනකින් සමන්විත වන අතර එම සන්ධානය මෙවර මහ මැතිවරණයට තරඟ කළේ සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිවස ලංඡනයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස