ජනතාව ඡන්දේ දුන්නේ 19 ඉවත් කරන්න! 20ට විරුද්ධ වෙන්නේ NGOකාරයෝ! – විමල්

September 7, 2020 at 4:23 pm | by emanisa.lk

මහ ජනයා අපිට ඡන්දය ලබා දී ඇත්තේ රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්න බවත් එය ඉටු කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පවසයි.

පසුගියදා (4 දා) මීගමුවේදී ඔහු එලෙස පැවසුවේ මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය තමාට එරෙහිව පවරා තිබූ නඩුවකට පෙනී සිටීම සඳහා අධිකරණය හමුවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ විකෘතියක්. 19 වැනි ව්‍යවස්ථාව ගෙන එන්න කඩිමුඩි කළේ බලතල බදාගන්න හදපු උදවියයි. හීනෙන්වත් නොහිතූ ලෙස තනතුරුවලට පාවී පැමිණි අයයි.

අද මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව හඬ නඟන්නේ එන්.ජී. ඕ.කාරයින්. 19 වැනි ව්‍යවස්ථාව නිසා රටේ සංවර්ධන වැඩට බාධා වුණා. රටේ ජනාධිපතිවරයා එක පක්‍ෂයකිනුයි අගමැතිවරයා තව පක්‍ෂයකින් තේරුණ විටද රටේ විශාල ප‍්‍රශ්නයක් ඇති වනවා. හරියට එක නඟුලක එළ හරකයි මී හරකයි බැන්ද වගේ.

රටක් දියුණු කරන්න අවශ්‍ය නම් දෙදෙනාම එක පක්‍ෂයක විය යුතුයි. මේ නිසා රටට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අත්‍යාවශ්‍යයි. නව ආණ්ඩක‍්‍රමු ව්‍යවස්ථා සංශෝධනයට කමිටුවක් පිහිටුවා තිබෙනවා. රටේ ඕනෑම පුරවැසියකුට එම කමිටුව වෙත ඉදිරිපත්වී තමන්ගේ අදහස් ප‍්‍රකාශ කළ හැකියි. එසේ ඉදිරිපත් නොවී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව හඬ නැඟීමෙන් පළක් නැහැ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස