කොළඹට ජලය දෙන කැලණි ගඟ දෙපස අනවසර කම්හල් 4000ක්! ගඟ දෙපස නිවැසියන්ට විධිමත් වැසිකිළිත් නෑ!

October 1, 2020 at 11:31 am | by emanisa.lk

කැලණි ගඟේ කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා වූ කොටසේ ගඟ දෙපස ඇති කර්මාන්තශාලා හාරදහසක් පමණ පරිසර බලපත්‍ර ලබාගෙන නොමැත.

ඇමැති මහින්ද අමරවීර සහ පරිසර සංවිධාන නියෝජිතයින් සමග පෙරේදා (29) පැවැත්වූ සාකච්ඡාවක දී මේ බව අනාවරණය විය.

කොළඹ නගරයට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟ අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා පාරිසරික වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කළ යුතු බව මෙහි දී පරිසරවේදීහු ඇමැතිවරයාට කියා සිටියහ.

කැලණි ගඟ දෙපස ඇති පරිසර වාර්තා ලබා නොගෙන ඉදිකර ඇති කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් කර ඊට අදාළ වාර්තා තමන්ට ලබා දෙන ලෙස ඇමැතිවරයා මෙහි දී මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නේය.

විශාල කර්මාන්තශාලා පවත්වා ගෙන යෑම සඳහා පරිසර බලපත් ලබා ගැනීම අනිවාර්ය බවත්, ඒවා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කරන බවත් එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය. මෙම ප්‍රදේශයේ කර්මාන්ත ශාලා 7000ක් තිබුණ ද බලපත්‍ර ලබා ගෙන ඇත්තේ 3000ක් පමණි.

ගඟ දෙපස ඇතැම් පදිංචිකරුවන්ට විධිමත් වැසිකිළි නොමැති බවත් ඔවුන් බැහැර කරන අපද්‍රව්‍ය ගං දියට මුසු වී ඊ කෝලි බැක්ටීරියාව පවා ජලයට එකතු වීමේ අවදානමක් ඇති බවත් පරිසර සංවිධාන පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස