ශ්‍රී ලංකාවට කොවිඩ්-19 එන්නත සැපයීමට සහ ජනතාවට එන්නත් ලබා දීමේ කටයුතු පරිපාලනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබා දෙන බවට එහි නියෝජිත පිරිසක් අද (22) අගමැති මහින්ද රාජපක්ෂ සමග අරලියගහ මන්දිරයේ දී පැවැති විශේෂ හමුවක දී සහතික විය.
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිගර්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ සහ යුනිසෙෆ් නියෝජිත ටිම් සුටන් මෙම හමුවට එක්ව සිටියහ. රටවල් කිහිපයක් කොවිඩ්-19 එන්නත තම රට වැසියන්ට ලබාදීම ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකාවට මෙම එන්නත ලබා දීම සම්බන්ධයෙන් සහතික විය හැකි බව මෙම සාකච්ඡාවේ දී එක්සත් ජාතින්ගේ නියෝජිතයෝ විශ්වාසය පළ කළහ.
එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සහ මහ ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ටිම් සූටන් මුල් අදියරේ එන්නත් ප්‍රසම්පාදනය සඳහා යුනිසෙෆ් ආයතනය දැනටමත් සහාය වෙමින් සිටින බවත්, නියමිත 20% ඉලක්කය ඉක්මවා එන්නත් ලබාදීම සඳහා රජයට සහාය විය හැකි බවත් කියා සිටියේ ය.
කොවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් විස්තර කළ වෛද්‍ය පෙන්ඩ්සේ, එන්නත ලබා ගත්ත ද ජනතාව ආරක්ෂිතව සමාජයේ සිටිය යුතු බව අවධාරණය කළා ය. “එය තවමත් නව එන්නතක්.” යැයි කී වෛද්‍ය පෙන්ඩ්සේ “එය මිනිසුන් මිය යාමෙන් ආරක්ෂා කරයි. නමුත් එය පැතිර යාම කොතරම් දුරට අඩු කරනවා ද දන්නේ නෑ.” යැයි ද කියා සිටියා ය. මෙම විශේෂ හමුවේ දී අවධාරණය කළ ප්‍රධාන පණිවිඩය නම් එන්නත ලැබීමෙන් පසුව වුව ද මිනිසුන්ට මෙම වසංගතය සම්බන්ධයෙන් උදාසීන වී කටයුතු කළ නොහැකි බව ය.
මේ සම්බන්ධ අධ්‍යයනයන් අඛණ්ඩව ක්‍රියාත්මක අතර එන්නත ඔස්සේ ලැබෙන ආරක්ෂාව කොපමණ කාලයක් සඳහා වලංගු දැයි තවමත් නිශ්චිත නැති බව වෛද්‍යවරු පවසති. ඒ අනුව එන්නත මඟින් වෛරසය ශරීරයෙන් මුළුමනින්ම ඉවත් කරයි ද නැතහොත් වෛරසයේ බලපෑම අඩුකරනවා ද යන්න තවමත් අවිනිශ්චිත ය.
බලපෑම අඩුකිරීම පමණක් සිදුවේ නම් එන්නත ලබා ගත් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට ආසාදනය වීමේ හැකියාව පවතියි. එන්නත ලබා ගත් පසුව ද මුව ආවරණයක් පැළඳීමට, අත් සේදීමට සහ ශරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමට මහ ජනයා දැඩිව සිහි තබාගත යුතු ය.