කොරෝනා සිරුරු ආදහනය කිරීම නිසා මගේ මූලික අයිතිවාසිකම් කැඩෙනවා! – ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට….

May 10, 2020 at 11:59 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන්නන්ගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

සමාජ ක්‍රියාකාරි⁣කයෙකු වන එච්. ඩී. ඕෂල ලක්මාල් හේරත් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමැතිනීතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් භද්‍රානී ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

කොරෝනා වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සඳහන් කරමින් ඉකුත් අප්‍රේල් 11වැනිදා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරු කියා සිටී. එම ගැසට් නිවේදනයේ 61. ඒ දරන රෙගුලාසි යට අනුව එම සිරුරු ආදාහනය කළ යුතු බවද පෙත්සම්කරු සිය පෙත්සමින් පෙන්වා දේ.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකිය. එසේ තිබියදී මෙරට සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර එම සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරු කියා සිටී.

එමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් ,එබැවින් මෙම රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා සිටී. නීතීඥ ගෞරි සංගරී තවරාසා මඟින් මෙම පෙත්සම ගොනු කර ඇත.

කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධාන මාර්ගෝපදේශන මාලාවේ මළ සිරුරුවල අවසන් කටයුතු කිරීමේ දී දේශීය තත්ත්වය සලකා බලා තීන්දුවක් ගතයුතු බව ද දක්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස