කොරෝනා වසංගතය මැද රටේ ආර්ථිකය බිඳ වැටෙද්දී ආණ්ඩුව ජනතාව රකින හැටි පුදුමයි! – ලිපියක් සමග රු. 5000ක් අගමැතිට…

June 12, 2020 at 10:24 am | by emanisa.lk

රුපියල් පන්දහසක නෝට්ටුවක් අමුණන ලද ලිපියක් අගමැති මහින්ද රාජපක්ෂට පෙරේදා (10) තැපෑලෙන් ලැබී ඇත. එහි කවරයේ ‘අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම’ යනුවෙන් සඳහන්ව තිබී ඇත.

මෙම ලිපිය ආරක්ෂක නිලධාරීන් විසින් අගමැතිවරයාට ලබා දීමෙන් අනතුරුව හෙළි වී ඇත්තේ එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ පදිංචි අසූහය හැවිරිදි එස්.බී. හේවාහැට නම් පුද්ගලයකු විසින් එවා ඇති බවය.

හිටපු ගම් සභා නියෝජිතකයකු වන එස්.බී. හේවාහැට සිය ලිපියෙන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා ඇත්තේ මෙම රුපියල් පන්දහස කොවිඩ් 19 අරමුදලට බැර කරන ලෙසයි. ඔහු එම ඉල්ලීම කර ඇත්තේ මෙසේය.
‘දැනට අසූහය වැනි වියේ පසු වන අයෙකි. මට ඇවිදින්නට බැරිය. රෝගීව ඇඳේ සිට ලියමි. උදා වී ඇති භයානක අවස්ථාවේ දී රටේ ආර්ථිකය බිඳ වැටී තිබියදී ජනතාව ජීවත් කරවීමට දෙන ආධාර ක්‍රමය මවිතයට කරුණකි. කෙසේ වෙතත් ​​කොරෝනා අරමුදලට මේ මස රුපියල් පන්දහස බැර කර මා ද ඒ පිංකමට සහභාගි කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමා මට කළ උදව් උපකාර අමතක නොකරමි.’

මෙම ලිපිය කියැවීමෙන් අනතුරුව සිය ලේකම් ගාමිණී සෙනරත් කැඳවූ අගමැතිවරයා එම මුදල ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

අරලියගහ මන්දිර වාර්තා සඳහන් කරන්නේ ඉදිරියේ දී යෙදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දිනයේ දී අදාළ මුදල එස්.බී. හේවාහැටගේ අතින්ම ජනාධිපතිවරයාට පිරිනමා කොවිඩ් 19 අරමුදලට බැර කිරීමට කටයුතු සූදානම් කර ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස