ක්‍රීඩකයන් 10 දෙනෙක් පාකිස්ථානු සංචාරය ප්‍රතික්ෂේප කරයි! කළමනාකරු මෙල්ටත් යන්න බෑලු!

September 10, 2019 at 2:04 pm | by emanisa.lk

මේ මස 27 වැනිදා ආරම්භ වන පාකිස්තානු තරග සංචාරයට සහභාගි වීම ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන ක්‍රීඩකයන් රැසක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

එක්දින පිලේ නායක දිමුත් කරුණාරත්න, විස්සයි 20 පිලේ නායක ලසිත් මාලිංග සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සංචාරයට සහභාගි නොවන බවට ප්‍රකාශ කළ ක්‍රීඩකයන් අතර සිටින බව වාර්තා වේ.

එසේම නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා මේ අතර වෙයි. ඒ අනුව කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ලහිරු තිරිමාන්න සහ දසුන් ශානක වෙත පැවරෙනු ඇත.

ආරක්ෂක හේතු මත කීඩකයන් මෙම තීන්දුව ගෙන ඇති බව සඳහන් අතර 2009 වසරේ මාර්තු මස ලාහෝර් නුවරදී ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වීමෙන් පසුව ටෙස්ට් හෝ එක්දින තරගවලට ශ්‍රී ලංකා පිල පාකිස්තානු සංචාරයකට සහභාගි නොවීය.

ක්‍රීඩකයන් පමණක් නොව කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් ද ඊට සහභාගී නොවන බව වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසන්නේ තමන්ට ඕනෑ තරම් ක්‍රීඩකයින් සිටින බවත් ප්‍රධාන ක්‍රීඩකයන් සහභාගී නොවන්නේ නම් වෙනත් ක්‍රීිඩකයන් සංචිතයට නම් කරන බවය.

කෙසේ වුවද ප්‍රධාන ක්‍රීඩකයන් නොමැතිව දෙවැනි පෙළ කණ්ඩායමක් නම් කිරීම පිළිබඳ පාකිස්ථානු ක්‍රිකට් බලධාරීන් එතරම් කැමැත්තක් නොදක්වන බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස