කට කතාවලට කලබල වෙන්න එපා…! නැව් ගින්නෙන් ලුනු නිෂ්පාදනයට කිසි බලපෑමක් නෑ….! මෙට්‍රික් ටොන් 125 000ක තොගයක් දැනටත් තියෙනවා…! – ලංකා ලුනු සභාපති…

May 31, 2021 at 9:25 pm | by emanisa.lk

කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මුහුදු ජලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වීම මත රටේ ලුනු නිෂ්පාදනයට කිසිම බාධාවක් නොවන බවත්, රටේ ලුනු හිඟයක් කිසි විටක ඇති නොවන බවට සහතිකයක් ලබා දිය හැකි බවත් හම්බන්තොට ලංකා ලුනු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ ප්‍රකාශ කරයි.

රටේ ලුනු නිෂ්පාදනයට මෙය බලපෑමක් එල්ල වන බවට සමාජය මත විවිධ මත ප්‍රචාරය වීමත් සමඟම පාරිභෝගිකයින් වෙළඳ සැල් කරා පැමින ලුනු පැකට් වැඩි වශයෙන් මිල දී ගෙන ගබඩා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව පවසා තිබේ.

“නැව ගිනි ගැනීම හේතුවෙන් කවර රසායනික ද්‍රව්‍යයක් මුහුදු ජලයට එකතු වුවත් ලුනු නිෂ්පාදයේ දී අධික තාපය යොදා සිදු කරන වාෂ්පී කරණයෙන් එම සියලු ම අනවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ඉවත් කරනවා. ඉතිරි වන සෝඩ්යම් ක්ලෝරයිඩ් පමණක් ලුනු නිෂ්පාදනයට යොදා ගන්නවා. එවිට මිනිස් පරිභෝජනයට නුසුදුසු කිසිවක් එහි අන්තර් ගතවන්නේ නැහැ. දැනට වුවත් මුහුදු ජලයේ විවිධ රසායනික ද්‍රව්‍ය රැසක් තිබෙනවා. මෙම නැව මගින් පමණක් නොව වෙනත් මාර්ගවලින් පවා මුහුදු ජලයට විවිධ දෑ එකතු වෙනවා. ඒ සියල්ලම නිස්සාරනය කිරීමට වාෂ්පී කරනයෙන් හැකියාව තිබෙනවා.

එම නිසා රටේ ලුනු නිෂ්පාදනයට මෙය කිසිම බාධාවක් වන්නේ නැහැ. රටේ අවශ්‍යතාවයෙන් සියයට හතලිහක් හම්බන්තොට ලුනු සමාගම මගින් සැපයීම සිදු කරනවා. දැනටමත් ආරක්ෂණ තොග ලෙස මෙට්ට්‍රික් ටොන් 125,000කට වැඩි ප්‍රමාණයක් අප සතුව තිබෙනව. තවත් ආයතන කිහිපයක් මගින්ද ලුනු නිෂ්පාදනය කරනවා. මේ අවස්ථාවේ ලුනු මිල කිසිවිටක ඉහළ දැමීමක් සිදු කරන්නේ නැහැ. අනවශ්‍ය ලෙස ජනතාව බියට පත්වී ලුනු එක් රැස් කිරීම සිදු නොකරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස