එක ගමකින් නව කර්මාන්තකරුවෙක්..! රට පුරා අලුත් කර්මාන්තකරුවන් 14 000ක්! – ගම ඔස්සේ රට නඟන්න බැසිල්ගෙන් සැලසුම්….

December 30, 2020 at 1:50 pm | by emanisa.lk

ග්‍රාමීය මට්ටමින් නව කර්මාන්තකරුවන් ඇති කිරීමේ දී නව තාක්ෂණික සහ ව්‍යවසායකත්ව දැනුම ලබාදෙමින් ඔවුන් දිරිගැන්වීම සිදු කරන්නැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ විදාතා නිලධාරීන්ට හා නිපුණතා සංවර්ධන නිලධාරීන්ට උපදෙස් දෙයි.

වර්තමානය වන විට තරුණ විරැකියාව ඉහළ මට්ටමක පවතින බැවින් තරුණ තරුණියන් වෙනුවෙන් නව රැකියා අවස්ථා ඇති කිරීමට නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය සහ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන 2021 අයවැය යෝජනා ග්‍රාමීය මට්ටමින් ක්‍රියත්මක කිරීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසද ඔහු මෙහි දී නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ ය.

පසුගියදා (28) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කළේය. නිපුණත සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් සම්බන්ධයෙන් සහ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

විදාතා නිලධාරීන් නොමැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා උපාධිධාරී පුහුණු නිලධාරීන් බඳවාගැනීම සම්බන්ධයෙන්ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

සෑම කෙනෙකුටම වෘත්තීය අධ්‍යාපනයට ප්‍රවේශවීමේ පහසුකම් සලසමින් වෘත්තීය අධ්‍යාපන අවස්ථා වැඩි කිරීම, රැකියා වෙළෙඳපොළට සරිලන අන්දමින් විෂයමාලා සංවර්ධනය, වෘත්තීය අධ්‍යාපන කටයුතු ප්‍රාදේශීයව පුලුල් කිරීම, දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොල ඉලක්ක කර ගත් තාක්ෂණික හා ඉහළ වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

ග්‍රාම සේවා වසමකට කර්මාන්තකරුවෙක් බැගින් නව කර්මාන්තකරුවන් 14022ක් බිහිකිරීම මෙවර අයවැයෙන් අපේක්ෂා කරන අතර විදාතා නිලධාරීන් නව කර්මාන්තකරුවන් හඳුනාගැනීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සිදුකළ යුතුව ඇත. පාරම්පරික ගම්මාන ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක්ද මේ යටතේ ක්‍රියාත්මක කෙරේ. රජයේ ආයතන සම්බන්ධ කර ගනිමින් තාක්ෂණික සහාය සහ මුල්‍ය සහාය ලබා දී ග්‍රාමීය ජනතාව සවිමත් කිරීම රජයේ අපේක්ෂාවයි.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ, ප්‍රසන්න රණවීර ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස